Sunday, February 16, 2020

චන්ද්‍ර මරුවා - ආතර් සී. ක්ලාක්



ව්ලැඩිමීර් සුරෝව් හොදින් දැනගැනීමට මට ඉඩක් ලැබුනේ නැති නමුත් දැන් ඒ ගැනපසුතැවිලි වීමෙන් වැඩක් නැහැ. මට මතක හැටියට ඔහුට ඉංග්‍රීසි හොදින් වැටහුණත් කතා කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඔහුගේ මිතුරන්ට පවා ඔහු එක්තරා විදියේ අභිරහසක් වුණා. සිවෙල්කොස්කි යානාවට ගිය හැම විටකම මා දුටුවේ අනුදක්නය ලගට වී සටහන් ලියමින් සිටි සුරොව්.අනෙක් රුසියානුවන් ඔහුට ගෞරව සම්ප්‍රයුක්තව සලකන බව පෙනෙන්නට තිබුණා. ඒක පුදුමයට කාරණයක් නොවෙයි.ආක්ටික් ප්‍රදේශයේ වගා කළ හැකි ගස් වර්ග දියුණු කිරීමෙන් ඔහු ඒ වන විට රුසියාවේ සිටි කීර්තිමත්ම උද්භිත විද්‍යාඥයා බවට පත්ව සිටියා.
රුසියන් කණ්ඩායම හදට උද්භිත විද්‍යාඥයකු ගෙන ඒම කාටත් විනෝදයක් වුණා.නමුත් මුල් චන්ද්‍ර ගවේශන වල ලබා ගත් තොරතුරු අනුව එහි වාතය හා ජලය නොතිබුණත් යම්කිසි 

වර්ගයක ශාක වර්ග පැවතිය හැකි යැයි මතයක් තිබුණා. රුසියානු විද්‍යා ඇකඩමියේ සභාපති මේ මතය දැරූ කණ්ඩායමේ නායකයෙක්.තමාගෙ වයස නිසා හදට ඒමට නොහැකි බැවින් ඔහු ඊළගට කල හැකි හොදම දෙය ලෙස සුරොව් එවා තිබුණා.
අපේ කණ්ඩායම විසින් ගවේශනය කරන ලද වර්ග සැතපුම් දහස් ගණනක මේ දක්වා පණ ඇති හෝ පණ නැති පැලෑටියක් සොයා ගන්නට හැකි වුණේ නැහැ. හදේ කිසිම ආකාරයේ ජීවයක් පැවතිය නොහැකි යැයි යන නිගමනය වැරදිබව මින් අවු 5 ට පමණ පෙර රිචඩ් විසින් පෙන්වා දෙනූ ලැබූවත් මේ අවස්තාවේ සුරොව් හදට එවීම අප දුටුවේ කිසිම තේරුමක් නැති වැඩක් ලෙසයි.එහෙත් සුරොව් තමන්ට පරීක්ෂණ පැවැත්විය හැකි ශාක ජීවිතයක් හදේ නොතිබීම ගැන පසුතැවිලි වන බවක් පෙනුණේ නැහැ.ඔහු සෑම විටම කිසියම් කටයුත්තක යෙදී සිටියා.ඔහුගේකාලයෙන් වැඩි කොටසක් ගත වූයෙ පස් සාම්පල පරීක්ෂා කිරීමත් හදේ පිහිටුවා තිබූ කුඩා ශාකාගාරය බලා ගැනීමටත් ය.
අපත් ඇමරිකන් කණ්ඩායමත් ආහාර පොළවෙන් ගෙන්වා ගත් අතර රුසියන් කණ්ඩායම ඒවා ශාකාගාර තුළ වැවීමට තැත් කළා.ආර්ථික පැත්තෙන් බලන විට ඔවුන් වඩා නිවරදි යැයි මට සිතුණා.හදේ ඉමක් කොනක් නැති පාළුබවෙන් වෙහෙසට පත්වන අපේ දෑස්වලට සුරොව්ගේ කුඩා ශාකාගාරයේ වූ එළවළු හා පළතුරුවගාව රස දෝතක් වුණා.
බ්‍රිතාන්‍ය යානයේ ප්‍රධාන නියමුවා වීම නිසා මට වැඩිපුර ගවේශන කටයුතුවල නිරත වීමට ඉඩ ලැබුණේ නැහැ. මගේ කාලය ගත වූයේ පොළවට යවන වාර්තා පිළියල කිරීමටත් ,අන් කටයුතු සංවිධානය කිරීමටත්‍ ය.ඇමරිකානු හා රුසියානු යානා වල නියමුවන් සමග සාකච්ඡා පැවැත්වීමත් මගේ දිනපතා රාජකාරිකටයුතුවල අංගයක් වුණා. මේ නිසා මගේ අභ්‍යවකාශ ඇදුමේ කාවන් ඇතැයි කියා විහිළු කිරීමට මගේ සගයන් පුරුදුව සිටියා. මා හිතන්නේ යානයෙන් පිටතට ගිය හැම ගමනක්ම මට පැහැදිලිව මතක ඇත්තේ ඒ නිසයි.
යානයෙන් පිටත දී සුරොව් හමුවූ එකම වතාව මට අද වගේ මතකයි. එදා මා අපේ භූ භෞතිකවිද්‍යාඥයා වූ හෙන්ඩර්සන් සමග අපේ කදවුරෙන් පිටත්වන විට මධ්‍යහනයට ආසන්නව තිබුණා.දකුණු කදුකරයට උඩින් සූර්‍යයා දක්නට හැකිවූ අතර එයට අංශක කීපයක් ඈතින් පොළව යන්තමින් පෙනුණා.හෙන්ඩර්සන් ට යාමට අවශ්‍ය වූයෙ වැඩිදුරකට නොවන නිසා අපි පයින්ම යෑමට තීරණය කළා.පොළවේදී මෙන් නොව හදේදී ඇවිදීම ඉතා පහසු දෙයක් වූ බැවින් මම හැකි සෑම අවස්තාවකදීම පයින් යෑමට කැමති වුනා. අභ්‍යවකාශ යුගයට පෙර මිනිසා මෙවැනි නිදහසක් දැන සිටියේ සිහිනයෙන් පමණයි. අප සිටි තැනට දකුණින් සැතපුමක් පමණ දුරින් ඇවිදින කෙනෙකුගේ රූපය මා දුටුවේ අපේ කටයුතු අවසන් කර ආපසු එන අතරේදීය. අභ්‍යවකාශ ඇදුමක් ඇදගත් කෙනෙක් ඉතා ළගදි වුණත් අදුනාගන්නට බැහැ.හදුනා ගත හැකි එකම ක්‍රමය වර්ණය හා අංකය පමණයි.
ඒකවුද කියා මම ගුවන්විදුලි පරිපථය තුළින් හෙන්ඩර්සන් ගෙන් ඇසුවා.

නිල් ඇදුම අංක 3 .... ඒ සුරොව් වෙන්න ඕනෑ.නමුත් මට හිතාගන්න බැහැ එයා තනිවම මොකද කරන්නේ කියා.
චන්ද්‍රයා මතුපිටදී කිසිවෙකු තනියෙන් ගමන් නොකළ යුතුය යන්න අපි අතර තිබූ මූලික නීතියක්.සගයෙකු සමග සිටියදී ඉතා සුළු දෙයක් ලෙස සැලකිය හැක්කක් තනිව සිටීමේදී මාරක අනතුරක් විය හැකියි. උදාහරණයක් වශයෙන් ඇදුමේ පසුපස වාතය කාන්දුවීමක් ඇති වුවහොත් එය නැවැත්වීමට පැලැස්තරයක් අලවා ගන්නේ කොහොමද මෙය විහිළුවක් නොවෙයි මෙවැනි දේ කොතෙකුත් සිදුවී තිබෙනවා. සමහර විට ඔහුගේ සගයාට අනතුරක් වී ඔහු ආධාර සොයා කදවුරට යනවා වන්නට පුලුවන්
අපි එයාට කතා කරමුද?
මා එකග නොවන බවට හිස වැනුවේ සුරොව්ට එතරම් හදිසියක් ඇති බව නොපෙණුන නිසයි. රුසියන් කණ්ඩායමේ නායක ඔහුගේ සගයන්ට තනිවම චන්ද්‍රයා මතුපිට යන්නට ඉඩ දෙනවා නම් ඒක මගේ වැඩක් නොවෙයි.අනිත් අතට සුරොව් ආරක්ෂක නීති කඩන්නේ නම් ඒ ගැන පැමිණිලි කිරීමත් මගේ වැඩක් නොවෙයි. ඊළග මාස දෙක තුනේ දී මගේ සගයන්ට සුරොව් කීපවිටක්ම තනියම හමු වී තිබුණා.මේ හැම අවස්තාවකදීම ඔහු අනෙක් අය මග හැරීමට තැත්කරන බව ත් පෙනුණා. ඔහුගේ කණ්ඩාම් නායක කැරස්නින් මේ බව දැන සිටියේ නැතිබව මට විශ්වාස කරන්න බැහැ.

මට කැරස්නින්ගේ හදිසි පණිවුඩය ලැබෙන විට ඇති වූයේ මම ඕක කලින් කීවා නේද වැනි හැගීමක්. නොයක් අවස්ථාවල අපේ සගයන් අනතුරුවලට මුහුණ පා ආධාර ඉල්ලන්නට අපට සිදුවී තිබුණා. නමුත් කෙනෙකු නැතිවූණ පලමු අවස්තාව මෙයයි.
මෙය ගුවන්විදුලිය මගින් හදිසි සාකච්චාවක් පැවැත්වූ අපි යානා තුනෙන්ම කණ්ඩායම් ගණනාවක් විවිධ දිශාවන්ට පිටත් කර යැවුවා. මේ වෙලාවෙත් මා ගියේ හෙන්ඩර්සන් සමගයි. අප එදා සුරොව් දුටු ස්ථානයට යෑමට තීරණය කිරීම පුදුමයක් නොවෙයි. රුසියානු උද්භිත විද්‍යාඥයා සමහර විට ඔහුගේ සගයන්ට හොරා කිසියම් පරීක්ෂණයක යෙදී සිටින්නට ඇතැයි මට මේ වෙලාවේ සිතුණා. නමුත් ඒ කුමන අන්දමේ පරීක්ෂණයක්දැයි කීමට මටපුළුවන් කමක් තිබුණේ නැහැ.
හෙන්ඩර්සන් ට ඔහු හමුවුණා. නමුත් ඒ වනවිට කල්ගත වුණා වැඩියි. මුණින් අතට බිම වැටී සිටි සුරොව්ගේ අභ්‍යවකාශ ඇදුම පොඩිවී තිබුණා. යම්කිසිවක් වැදීමක් නිසා ඔහුගේ හිස් වැසුමේ ප්ලාස්ටික් කොටස කැඩීයාම නිසා වාතය රහිත අවකාශයට නිරාවරණය වීමෙන් , ඔහු එක්වරම මැරෙන්න ඇති.
කැරස්නින් අප ළගට එන විට අපේ දෑස් යොමු වී තිබුණේ මැරෙන මොහොතේ සුරොව් පරීක්ෂා කරමින් සිටියේ යැයි විශ්වාස කළහැකි වස්තුව දෙසයි. එය අඩි තුනක් පමණ ඉහළට වැඩුණු කොළ පැහැති දෙයක්.ඒක චන්ද්‍රයා මතුපිට සවිවී තිබුණේ පහුරු කීපයකින්. එය පතොක් වැනි පැළෑටියක්. ඊට ඈතින් තවත් එවැනි පැළෑටි දෙකක් තිබුණා.
මට එක්වරම හිතුණේ එහෙනම් හදේ ජීවය තියෙනවා යන්නයි. නමුත් කැරස්නින් ගේ කටහඩ ඇසෙන තෙක් සත්‍යය කොතරම් විශ්මයජනකදැයි මා දැන සිටියේ නැහැ.
'දුප්පතා අප දැන සිටියා ඔහු ශ්‍රේෂඨ විද්‍යඥයෙක් බව. නමුත් ඔහුගේ සිතේ තිබුණ දේ ගැන කීවාම අපි සිනහ වුණා. ඒ නිසා ඔහු ඒක රහසක් ලෙස තියා ගන්නට ඇති. දෙමුහුන් තිරිඟු වර්ගයක් නිපදවා ඔහු ආක්ටික් ප්‍රදේශය ජය ගත්තා.'

නමුත් ඒ ආරම්භය පමණයි. සුරොව් හදට ජීවයත්, ඒ එක්කම මරණයත් ගෙනාවා.
ඒ මොහොතේ සිට මට හිතුණේ මේක ප්‍රාතිහාර්යයක් ලෙසයි. අදනම් සුරොව් පතොක් ගැන මුලු ලෝකයම දන්නවා. රික්තයක පැවතිය හැකි , පිට සමක් හා පාෂාණ තුළට යා හැකි අම්ල නිපදවන මුල් සහිත මෙම පතොක් වර්ගය දියුණු කළ ආකාරය ඔහුගේ සටහන්වල ඉතා පැහැදිලිව විස්තර කර තිබුණා. දැන් අපි සුරොව්ගේ දෙවැනි අවස්තාවත් සාර්ථක ලෙස ක්‍රියාවට පෙරළා අවසානයි. ඔහුගේ පතොක් වැවීමෙන් සකස්වුණ චන්ද්‍ර පාෂාණ මත දැන් හදේ සිටින සෑම කෙනෙකුටම අවශ්‍ය ආහාර නිපදවෙන වෙනත් ගස් වර්ග වැවෙනවා.
තම සගයා ගේ සිරුර දෙසට නැමුණ කැරස්නින් , අඩු චන්ද්‍ර ගුරුත්වය නිසා කිසිම අපහසුවකින් තොරව එය ඉහළට එසවූවා. බිදී තිබුණ ප්ලාස්ටික් හිස්වැස්මේ කැබලි අත ගෑ ඔහු කිසිම දෙයක් අවබෝධකරගත නොහැකියාවක් මෙන් හිස සලන්නට වුණා.
වෙන්න ඇත්තේ මොකද්ද ? මටනම් පෙනෙන්නේ මේක පැලෑටියෙන් වුණ දෙයක් බවයි . ඒත් ඒකනම් හිතාගන්නත් අමාරුයි.
අපි කවුරුත් ඉදිරියේ තිබුණු හරිත වර්ණ අභිරහස දෙස විශ්මයෙන් මුසපත් වූවා මෙන් බලා සිටිද්දී හෙන්ඩර්සන් හිමිහිට කතා කරන්න පටන් ගත්තා. මම හිතන්නෙ පිළිතුර මම දන්නවා කියා මම පාසලේදී ඉගෙන ගත් උද්භිත විද්‍යාව දැනුමටිකක් දැන් මතක් වුණා. චන්ද්‍ර තත්වයන්ට සරිලන ආකාරයට සුරොව් මේ පැලෑටිය සකස් කරා නම් ඔහු එහි බෝ වීම හා පැතිරයෑම සිදු කරන්නට බලාපොරොත්තුවන්නට ඇත්තේ කොහොමද? පැල වෙන්නට පුළුවන් ස්ථාන කීපයක් සොයා ගැනීමට ඇට විශාල ප්‍රදේශයක් පුරා යැවීමට සිදුවනවා. පොළවේ මෙන් ඒවා ගෙන යෑමට මෙහි කුරුල්ලන්වත් සතුන්වත් නැහැ. මට හිතන්න පුළුවන් එකම එක ක්‍රමයක් ගැන විතරයි. පොළවේ පැළෑටි ගණනාවක් දැනටමත් එය ප්‍රයෝජනයට ගන්නවා ඔහු කතාව නැවත්වූයේ මගේ කෑ ගැසීම නිසා. ඉතා වේගයෙන් මගේ ඇදුමේ ලෝහ කොටසේ යමක්වැදුන බව දැනුනා. මගේ පාද ලග තිබුණේ කුඩා ගලක හැඩය ඇති ඇටයක්. සුරොව්ගේ හිස් වැසුමේ ප්ලාස්ටික් කොටස බිද දැමූ එවැනිම ඇටයක් ඊට යාර කීපයක් ඈතින් තිබුණා. පැලෑටියේ ඇට හොදින් පැහී ඇතිබව ඔහු දැනගෙන සිටින්නට ඇති. එය පරීක්ෂා කිරීමට ඉක්මන් වූ ඔහුට අනික්සියල්ල අමතක් වෙන්න ඇති. දුර්වල චන්ද්‍ර ගුරුත්වය යටතේ සැතැපුම් කාලක් පමණ මෙම ඇට විසිවෙනවා මා දැක තියෙනවා. සුරොව්ගේ හිසේ වැදී ඔහු මරණයට පත් කළේ ඔහුගේම නිර්මාණයයි.

No comments:

Post a Comment