ඔයා ඔය බීමට ඇබ්බැහි වෙලයි තියෙන්නේ. දුකටත් බොනවා. සතුටටත් බොනවා. කොයි වෙලෙත් බොනවා!" එරික් දිගු සුසුමක් හෙළමින් නොරිස්සුම්සහගතව සිය සගයා වූ සැමීට පැවසී ය. එරික් ශෝකයෙන් විඩාපත් ව සිටියේ ය. ඔහු සිය කාරයේ දොර විවෘත කර රියදුරු අසුනෙහි අසුන්ගත්තේ ය. සැමී රියදුරු අසුනට අනෙක් පසින් අසුන්ගෙන, ඔහු ගේ ප්‍රියතම සිසිල් බීම සහිත කෑනය ගෙන පානය කරමින්, දුර ඈත කල්පනාවක නිමග්න ව සිටියේ ය. ඔහු ද ශෝකයෙන් මුසපත් ව සිටියේ ය. එරික් කී පරිදි, ඔහු දුකටත්, සතුටටත්, කිසිවක් සිතාගත නොහැකි අවස්ථාවල දීත් ඒ බීම පානය කළේ ය.
සැමී දිගු සුසුමක් හෙළී ය. "කර්නල් ඩේවිඩ් සිය දිවි හානි කරගන්න තරම් උමතු මිනිහෙක් නො වෙයි" ඔහු රථයේ කවුළුව තුළින් හිස් බැල්මක් හෙළමින්, තව උගුරක් පානය කළේ ය.
"මමත් එකගයි. ඒත් අපි පැහැදිලිව ම දැක්ක නේ කර්නල් ඩේවිඩ් උමතුවෙන් වාහනය එළවගෙන ගිහිල්ලා ගොඩනැගිල්ලක තදින් හප්පාගන්නවා"
එරික් සිය වාහනය පණගන්වා. සුක්කානම අතට ගෙන, ඔළුව ඔසවා ඉදිරිපස බැලුවේ සිය වාහනය පැදවීම සඳහා මාර්ගය පැහැදිලි ද යන්න පිරික්සීමට ය. එහෙත් ඔහු ඊළග මොහොතේ දුටුවේ මහත් භයානක සිද්ධියකි. ඔවුන් ගේ රථය දෙසට ඉදිරියෙන් ඉතා වේගයෙන් කාරයක් පැමිණෙමින් තිබිණි. කිසිවක් සිතාගත නොහැකි වූ එරික් වහා වාහනය ඉවතට කැපී ය. අනෙක් වාහනය කසළ බඳුන් කිහිපයක් ද තල්ලු කරගෙන ගොස් කණුවක වැදී නතර විය.
එරික් වාහනයෙන් බැස හැප්පුණු වාහනය දෙසට දිව ගියේ එහි රියදුරු, ඔවුන් ගේ
සහ-සේවිකාවක වූ පැමෙලා බැවිනි. සැමී ගේ අතින් කෑනය ගිලිහිණි. "පැමිලාට පිස්සු හැදිල ද? එයා අපිව මරන්නයි හැදුවේ!" ඔහු වික්ෂිප්තව පැවසී ය. සිහි එළවාගත් සැමී, එරික් පසුපස, හැප්පුණු වාහනය දෙසට දිව ගියේ ය.
පැමෙලා ගේ කාරය කණුවේ තදින් හැපී තිබුණු නමුත් වාසනාවට මෙන් හැපී තිබුණේ රියදුරු සිටි පසට විරුද්ධ පස ය. එහෙයින් ඇයට බරපතළ හානියක් සිදු නො වී තිබුණ ද, ඇය සිහිසුන් ව සිටියා ය. සැමී සහ එරික් අවට රොක් වූවන් ගේ ද සහාය ඇති ව ඇය වහා ඉවතට ගෙන එරික් ගේ රථයෙන් හමුදා රෝහලට රැගෙන ගිය හ. පැමෙලා ගේ වාහනය රාජ්‍ය දේපළක් වූ බැවින්, සැමී එය තමා සන්තකයට ගැනීමට කටයුතු කළේ ය. ඔහු එම කටයුත්ත කරන අතරතුර සූක්ෂම ලෙස වටපිට බැලුවේ, රැස් වූ පිරිස අතර අසාමාන්‍ය හැසිරීමක් ඇති පුද්ගලයකු වේ දැයි බැලීමට ය. එහෙත් එවැන්නකු ඔහු නො දුටුවේ ය. සැමී ගේ දර්ශන පථයට හසු නො වුව ද, මීටර 200ක් පමණ එහායින් වූ ඉතා උස් ගොඩනැඟිල්ලක, අටවැනි තට්ටුවේ ජනේලයක සිට යමෙක් දුරදක්නයක් මාර්ගයෙන් මේ සියල්ල නිරීක්ෂණය කරමින් සිටියේ ය.
පැමෙලාට සිහිය ඒමට බොහෝ වේලාවක් ගත විය. ඇයට සිහිය එන විට ඇය අසල එරික් සහ සැමීට අමතරව නේතන් නම් පුද්ගලයෙක් ද සිටියේ ය.
"මම මේ කොහේ ද?" ඇය දැස් විවර කර චකිතයෙන් වට පිට බැලී ය. කිසිවෙක් කිසිවක් නො කී හ. එරික් සහ සැමී දුටු විට ඇය තැති ගත්තා ය.
"ඔය දෙන්නා?!! මට ඔය දෙන්න ගෙ කාර් එක හප්පන්න කිව්වා! මටත් සියි දිවි හානි කරගන්න බල කරා" ඇය ඔවුන් වෙතට ඇගිල්ලක් දිගු කරමින් මිමිණී ය.
"කවුද?" ඉතිරි තිදෙන එකවර විමසූ හ.
ඇය හිස දෙපසට සෙලවී ය. "මගේ ඔළුව ඇතුළෙන් ආපු කටහඩක්..... මම දන්නෙ නැහැ ඒ කවුද කියල" ඇය අසරණ ව පැවසී ය.
"කර්නල් වේඩිව් සිය දිවි හානි කරගත්තා. ඔයත් සියදිවි හානි කරගන්න උත්සාහ කරා. නමුත් ඉලක්කය වැරදුණා. ඔය දෙන්න ම හොඳ සිහිබුද්ධිය ඇති පුද්ගලයන්. ඒත් වාහනයට නැගපු ගමන් උමතු රියදුරන් බවට පත් වුණා" නේතන් බැරෑරුම් ලෙස කරුණු පැහැදී ය.
"වාහනය හප්පාගැනීම සියදිවි හානි කරගැනීමක් ලෙස පෙන්වන්න උත්සාහ කරාට, මේවා අහඹු සිදුවීම් නො වෙයි. එහෙම හිතන්න අමාරුයි. ඔය දෙන්න ගෙ මනස පාලනය කරන්න හැකියාව තියෙන කවුරු හරි පුද්ගලයෙක් ඔය අහල පහළ ඉන්න ඇති. එහෙමත් නැතිනම් මනස පාලනය කරන්න පුළුවන් උපකරණයක් අතැති ව යම් පුද්ගලයෙක් ඉන්න ඇති" ඔහු වැඩිදුරටත් පැවසී ය.
"මම පැමෙල ගෙ වාහනය අනතුර සිදු වෙච්ච තැනින් එළියට ගන්න කොට, සැක සහිත කවුරු හරි වටේ පිටේ ඉන්නව ද කියල විපරම් කරල බැලුවා. ඒත් මට එහෙම කවුරු වත් හමු වුණේ නැහැ. ඒත් දුරස්ථ පාලකයකින් මනස මෙහෙයවන්න පුළුවන් උපකරණයක් පාවිච්චි කරල කවුරු හරි මේ වැඩේ කරා ද දන්නෙ නැහැ" සැමී සිය මතය ඉදිරිපත් කළේ ය.
ඒ සමග ම, කාමරයට පැමිණි හමුදා නිලධාරියෙක් සංයුක්ත තැටි දෙකක් නේතන් අතට පත් කර, කාමරයේ සිටි නේතන් ඇතුළු අනෙක් හමුදා නිලධාරීන්ට ආචාර කර එතැනින් නික්ම ගියේ ය.
"හරි. අපි බලමු. කර්නල් ඩේවිඩ් සහ පැමෙල ගෙ රිය අනතුරු වෙන්න කලින්, ඔයගොල්ලන් ගෙ වාහන අවට සිද්ද වුණු දේවල් මේවයෙ පටිගත වෙලා ඇති. මේ ඒ වාහනවල තිබුණු ආරක්ෂක කැමරාවලින් ලබාගත්ත දර්ශන" සංයුක්ත තැටි ආවරණය ගලවන අතර නේතන් විස්තර කළේ ය.
ඒ කාමරයේ සිටි සියලු දෙනා ප්‍රබල රටක රාජ්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීන් වූ බැවින්, ඔවුන් ගේ වාහන නවීන පන්නයේ ආම්පන්නවලින් සමන්විත විය.
සියල්ලෝ ම නිශ්ශබ්දව මහත් ඕනෑකමින් සංයුක්ත තැටි දෙකෙහි අන්තර්ගතය නැරඹූ හ. එම තැටි දෙකට ම පොදු එක සිදුවීමක් විය. එනම්, කළු පැහැ දිගු කබායකින් සහ හිස් වැස්මකින් සැරසුණු ආගන්තුකයෙක්, නතර කර තිබූ වාහන දෙකෙහි ම රියදුරු දොර අසලට පැමණ එය විවෘත කිරීමට ගත් උත්සාහයක් එහි පටිගතව තිබිණි. ඔහු හඳුනාගැනීමට අපහසු වන ලෙස, ලේන්සුවකින් මුව ආවරණය කරගෙන සිටියේ ය. ඔහු, රියදුරු දොරේ වීදුරුවෙන් වාහනය ඇතුළට එබී, එහි දොර විවෘත කිරීමට නො හැකි බව දැනගත් පසු එතනින් ඉවත් ව ගියේ ය.
"අපේ දොරවල් විවෘත කරන්න අපේ ඇගිලි සලකුණු අවශ්‍යයි නේ, නමුත් මේ මිනිහා ඒ බව දන්නෙ නැති ව ඇති" මෙතෙක් කිසිවක් නො කී පැමෙලා කීවා ය. සිදු වූ අනතුරින් ඈ තවමත් තැතිගෙන සිටියා ය.
"නමුත් මට හිතෙන්නේ, එයා දොර විවෘත කරන මුවාවෙන්, දොරේ හැඩලය යට අපට සියදිවි හානි කරගන්න පොලඹවන යම් දෙයක් අලවන්න හෝ ඇතුළු කරන්න ඇති. අපි දොර අරින කොට ඒ දේ අපේ ඇගිලිවල තැවරිලා ශරීරයට ඇතුළු වුණා වෙන්න බැරි ද? ඒක ලේවලට ගියා ම අපිව ක්ෂණයෙන් උන්මන්තක රියදුරන් බවට පත් වුණා වෙන්න පුළුවන්" ඇය තවදුරටත් පැහැදිලි කළා ය.
"හොඳ තියරි එකක්, නමුත් ඔයා ගෙ රුධිර වාර්තාවේ කිසි අසාමාන්‍ය රසායන ද්‍රව්‍යයක් තිබුණෙ නැහැ" එරික් පරිගණකය දෙසට හැරෙමින් පැවසී ය. "මේකට අමතරව, මට හිතෙනවා කාරය අනතුරට ලක් වෙන්න කලින්, කාරය ඇතුළත සහ පිටත අධෝරක්ත ඡායාරූප සහිත වීඩියෝ දර්ශන නැරඹුවොත් හොඳයි කියල. කවුද දන්නෙ කාරය යට කවුරු හරි හැංගිල හිටිය ද කියලා" ඔහු එසේ කියමින් අදාළ වීඩියෝ දර්ශන විවෘත කළේ ය.
අධෝරක්ත කිරණ යනු, මිනිස් ඇසට සංවේදනය වන දෘශ්‍ය පරාසයට අයත් නො වන කිරණ පරාසයයි. අපට එය සංවේදනය වන්නේ තාප ශක්තිය ලෙසට ය. යම් කිසි පෘෂ්ඨයකින් නිකුත් කරන අධෝරක්ත කිරණ හඳුනාගෙන, ඒ අනුසාරයෙන් අධෝරක්ත ඡායාරූප නිෂ්පාදනය කිරීමට අධෝරක්ත කැමරා උපයෝගි කරගනී. මෙහි දී උණුසුම් පෘෂ්ඨ රතු, කහ වැනි තද වර්ණවලින් ද, සිසිල් පෘෂ්ඨ තද නිල්, දම් වැනි වර්ණවලින් ද දිස් වේ.
එරික් විවෘත කළ අධෝරක්ත ඡායාරූප සහිත වීඩියෝවක් පරීක්ෂා කළ විට, ඔවුන් සිතූ පරිදි කාරය ඇතුළත හෝ පිටත හෝ වෙන මිනිසකු හෝ ජීවියකු හෝ සැගව සිටියේ නැත. එහෙත්, දිගු කබාය ඇඳි ආගන්තුකයා ගේ අධෝරක්ත ඡායාරූපවල යම් අසාමාන්‍යතාවක් ඔවුහු නිරීක්ෂණය කළ හ. එනම් ඔහු ගේ දකුණු කකුලෙහි දණහිසෙන් පහළ ඔහුට තිබුණේ බොරු කකුලකි. බොරු කකුල හැර ශරීරයේ ඉතිරි සියලු කොටස් රතු සහ කහ පැහැයට නෑකම් කියන විවිධ වර්ණයෙන් දිස් වූ අතර, අජීවී බොරු කකුල පමණක් තද දම් පැහැයකින් දිස් විය.
"අපි එහෙනම් අපේ සතුරව යම්තාක් දුරට හඳුනගත්තා. එයා ගෙ එක කකුලක් නැහැ. එයාව අත්අඩංගුවට ගන්න, එයාව හඳුනගන්න මේක හොඳ ඉගියක් වේ වි. අපි දැන් විසිරෙමු" නේතන් පැවසී ය. "පැමෙලා, ඔයා තව දවසක් මෙහෙ ඉන්න වේ වි"
"විසිරෙන්න කලින්..." සැමී සිය සිසිල් බීම කෑනයේ අවසාන උගුර කටට හළාගනිමින් කථා කරන්නට විය.
"පොඩ්ඩක් හිතල බලන්න. උමතු රියදුරන් බවට හැරුණේ කර්නල් ඩේවිඩ් සහ පැමෙලා විතරයි. මේ වගේ උමතු රියදුරන් සාමාන්‍ය ජනතාව අතුරින් වාර්තා වුණේ නැහැ නේ. අපේ කාර් දෙකට ම ළං වුණෙත් එක ම පුද්ගලයෙක්.. සමහර විට මේ පුද්ගලයා ආරක්ෂක අංශයේ අපේ නිලධාරීන් ඉලක්ක කරනවා වෙන්න පුළුවන්" සැමී කල්පනාකාරී ව පැවසී ය.
"හ්ම්, අපි මේ මිනිහව ඉක්මනට ම අත්අඩංගුවට ගන්න ඕනේ" එරික් පැවසී ය. ඒ සමග ම සැමී ගේ සාක්කුවෙහි වූ ජංගම දුරකථනය "බීප්-බීප්" නාදයක් අඛණ්ඩව නිකුත් කරන්නට විය. සියල්ලෝ ම ඔහු දෙස හැරී බැලූ හ. සැමී කලබල වී සිය අතෙහි වූ කෑනය පසෙක තබමින් හනික ජංගම දුරකථනය ඉවතට ගත්තේ ය.
"ඒ මොකක් ද ඒ සද්දය?" පැමෙලා විමසුවා ය.
"මං හිතන්නෙ මම ඊළග උමතු රියදුරා වෙන්න ඇතිෘ තැතිගත් සැමී සිය ජංගම දුරකථනයේ තිරය විවෘත කරමින් පැවසී ය. එහි වූයේ වීඩියෝ දර්ශනයකි. කමිසයක්, දිගු කලිසමක් සහ මුහුණ ආවරණය වන පරිදි තොප්පියක් පැළඳගත් මිනිසෙක් ඔහු ගේ කාරයේ රියදුරු දොර අසල සිටියේ ය. ඔහු එය විවෘත කරන්නට උත්සාහ කරන වගක් වීඩියෝ දර්ශනයෙහි විය. ඒ විවෘත කරන්නට නො හැකි වග තේරුම්ගත් පසු, ඔහු දොරට පයින් ගසා එතැනින් නික්ම ගියේ ය. ඒ වන විට සැමී ගේ දුරකථනයෙහි වූ දර්ශනය අනෙක් අය ද නරඹමින් සිටියෝ ය.
සැමී ඩිජිටල් මාධ්‍ය පිළිබඳ හසළ බුද්ධියක් ඇති අයෙක් විය. කර්නල් ඩේවිඩ් ගේ අකල් මරණයෙන් පසු, සැමී සිය වාහනයට සැක සහිත යමක් සිදු වුව හොත්, ඒ පිළිබඳව සංඥවක් තම වාහනයෙන් තම ජංගම දුරකථනයට ලබාගත හැකි ඩිජිටල් වැඩසටහනක් නිර්මාණය කරගත්තේ ය. ඔහු ඒ නරඹමින් සිටියේ ඒ වැඩසටහනින් ලැබුණු වීඩියෝ දර්ශන ය.
"හොරා ගේ ඇඳුම නම් වෙනස්. ඒත් එක ම මිනිහ ද කියල බලන්න, අපි අධෝරක්ත ඡායාරූපත් බලන්න ඕනේ. සැමී මේකෙන් අධෝරක්ත ඡායාරූපයත් බලන්න පුළුවන් ද?" නේතන් විමසී ය.
"මොකද බැරි?" සැමී දර්ශන පථය වෙනස් කරන ගමන් පැවසී ය. එහි වූ අධෝරක්ත වීඩියෝවෙන්, පෙර අවස්ථාවල දී මෙන් මේ සොරා ගේ එක කකුලක් නොමැති බව තහවුරු විය. සියල්ලෝ ම මහුණට මුහුණ බලාගත් හ. ඔවුන් තැතිගෙන සිටි වගක් ඔවුන් ගේ මුහුණුවලින් දිස් විය.
"මම ඊළග උමතු රියදුරා. මට නම් බැහැ වාහනයට නගින්!" සැමී භ්‍රාන්ත ව පැවසී ය. සියල්ලෝ ම නිශ්ශබ්ද ව කල්පනා කරන්නට වූ හ.
"ඔයා ගේ වාහනයට එයා ළං වුණ බව අපි දැනගත්තෙ ඔයා ගේ ඩිජිටල් වැඩසටහන නිසා. කවුද දන්නෙ, අපි නො දැක්කා වුණාට, අපේ වාහානවලටත් මිනිහා මොනව හරි කරා ද කියලා?" එරික් ප්‍රශ්න කළේ ය. "මට හිතෙන්නේ මේ පුද්ගලය ගෙ මේ මොනයම් හෝ අද්භූත උපක්‍රමය බලපාන්නෙන් මිනිස් මොළයට විතරයි. ඒ නිසා මොළයක් නැති මිනිහෙක් වාහනය එළෙව්වොත් එයට බලපෑමක් වෙන එකක් නැහැ" පැමෙලා විහිළුවෙන් මෙන් පැවසුවා ය.
"හොඳ අදහසක්. මොළයක් නැති මිනිහකුට අපිට දැන් ඉන්නේ සැමී හරි 'ඩමී' හරි විතරයි.." සැමී ගේ කර වටා අතක් යවමින් එරික් එසේ පැවසුවේ අනෙක් අය හිනස්වමිනි.
"හරියට ම හරි. සැමී පව් නිසා ඔයගොල්ලෝ ඩමීව පාවිච්චි කරන්න" පැමෙලා විහිළුවෙන් ම ඔහුට පිළිතුරු දුනි.
ඔවුන් තිදෙන හනික සැමී ගේ වාහනය වෙත පියමැන්නෝ ය. සැමී එහි රියදුරු අසුනට අනෙක් පසින් වූ අසුනේත්, එරික් සහ නේතන් පිටුපස අසුන්වලත් අසුන්ගත්තේ චකිතයෙනි. ඉන්පසුව සැමී, "දැන් අපි 'ඩමී'ව එළියට ගමු" යෑයි පවසමින්, රියදුරු අසුන යට වම් පස වූ බොත්තමක් එබී ය. එවිට, රියදුරු අසුනෙහි අසුන්ගන්නා කොටස මැදින් දෙපසට වෙන් වී, ඒ ඇතුළතින් පුද්ගල අනුරුවක් හෙවත් ඩමියක් මතු වී ආවේ ය.
එම අනුරුව අලෝහමය ද්‍රව්‍යවලින් නිර්මිත ව තිබුණු රොබෝවෙකි. රොබෝවකු වුව ද, ඔහු ගේ පරිගණකයට යම් ස්ථාන දෙකක ඛණ්ඩාංක ඇතුළත් කළ විට, එම ලක්ෂ්‍ය අතර වූ ඕනෑ ම පාරක, වාහනය හොඳින් හසුරුවාගනිමින් ධාවනය කිරීමේ හැකියාව ඔහු සතු විය. මේ 'ඩමී' රියදුරා artificial intelligence හෙවත් කෘත්‍රිම බුද්ධියකින් ක්‍රියාත්මක වූවෙකි. බුද්ධි අංශයේ නිලධාරීන් ගේ වාහනවලට මේ 'ඩමී' රියදුරන් හඳුන්වා දී තිබූ සැබෑ හේතුව නම්, යම් නිලධාරියකු පහර කෑමකට ලක් වුව හොත් හෝ වෙනත් හදිසි අවස්ථාවක දී හෝ එම නිලධාරියාට ප්‍රකෘති සිහියෙන් වාහනය එළවාගත නොහැකි විට, මේ 'ඩමී' රියදුරා ප්‍රයෝජනයට ගෙන එතනින් පළා යැමට සැලැස්වීමයි.
සැමී, 'ඩමී' රියදුරා ගේ කලව ප්‍රදේශයේ වූ කුඩා දොරක් විවෘත කළේ ය. එහි කුඩා පරිගණකයක් විය. එම පරිගණකය භාවිතයෙන්, ඔහු ඔවුන් සිටි ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ එහායින් වූ ස්ථානයක ඛණ්ඩාංක ඇතුළත් කළේ ය. ඉන් පසුව 'ඩමී' රියදුරාව වට කරමින් වීදුරුවක් මතු විය. එයින් රියදුරාත්, වාහනයේ වූ අනෙක් මගීන් අතරත් සම්බන්ධය බිඳ වැටිණි.
'ඩමී' රියදුරා වාහනය පණ ගන්වා මීටර කිහිපයක දුරක් ධාවනය වූ විට මහත් පුදුමාකාර දෙයක් සිදු විය. සැමී, නේතන් සහ එරික් සිය හිස් බදාගෙන මොර දෙන්නට වූ හ. එයින් වැඩි ම බලපෑමක් දැක්වූයේ සැමී ය. 'ඩමී' රියදුරා ගේ වීදුරු කූඩුවට අතින් ආවේගයෙන් ගසමින්, "වාහනය හප්පන්න, මට මැරෙන්න ඕනේ" යෑයි ඔහු කෑ මොර දෙන්නට විය. එහෙත් වාහනයේ සිටි මනුෂ්‍යයන් තිදෙනාට සිදු වූ කිසිවක් 'ඩමී' රියදුරාට ගෝචර නො වී ය. ඔහු කිසිවක් නො වුණු අයුරින් පරෙස්සමෙන් වාහනය ධාවනය කළේ ය.
වාහනය මීටර 500ක් පමණ ධාවනය වූ පසුව මේ සියලු විකාර සිදුවීම් හදිසියේ ම නැවතිණි. එහෙත් වාහනයේ සිටි මනුෂ්‍යයෝ තිදෙන සිsහි මූර්ඡා වී ඔවුන් සිටි අසුන්වල ම වැටී සිටියෝ ය. ඔවුන් නැවත ප්‍රකෘති සිහියට පැමිණියේ, 'ඩමී' රියදුරා වාහනය කිලෝමීටරයක් එළවාගෙන ගොසින් වාහනය නතර කිරීමෙන් විනාඩි කිහිපයකටත් පසුව ය.
ඔවුහු තිදෙන දැස් විවර කර මහත් භීතියෙන් වට පිට බැලූ හ.
"අපිට මොකද වුණේ?" තිදෙනා ම එකවර ඇසූ හ. ඔවුන් පැය භාගයක් පමණ සිහි මූර්ඡා වී සිට ඇත. ඔවුහු දැඩි හිසරදයකින් පෙළෙන්නට වූ හ. වාහනය පණගන්වා ටික මොහාතකින් තමන් උන්මන්තකයන් වූ බව ඔවුන්ට තේරුම් ගියේ ය. එහෙත් 'ඩමී' රියදුරාට මේ කිසිවක බලපෑමක් නො වූ බව ද ඔවුහු තේරුම්ගත් හ. මේ සිදු වූ අද්භූත සිදුවීම් බලපාන්නේ මනුෂ්‍ය ජීවීන්ට පමණක් බව එයින් තහවුරු විය. ඔවුහු වාහනයෙන් බැස 'ඩමී' රියදුරා ලවා වාහනය ප්‍රධාන පාලක මධ්‍යස්ථානයට ගෙන ගිය හ. එහි දී ස්කෑනර් යන්ත්‍රයක් මගින් වාහනය ඉතා දැඩි පරීක්ෂාවට ලක් කරන ලදී. විශේෂයෙන් රියදුරු දොර සහ හැඩලයට දැඩි අවධානයක් යොමු විය. එහෙත් අසාමාන්‍ය කිසිවක් එහි නො වී ය. අවම වශයෙන් සිරීමක් වත් නො වී ය.
මේ මෙහෙයුම්වලට සමගාමී ව, තවත් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක වී, වාහනවලින් සොරකම් කිරීමේ වරද පිට, කෘත්‍රිම පාදයක් සහිත ආගන්තුකයා අත්අඩංගුවට ගත්තේ ය. ඔහු දැඩි පරීක්ෂාවට ලක් කළ ද, සැකසහිත කිසිවක් ඔහු සන්තකයේ නො වී ය. එහෙත් ඔහු ගොළුවකු බව බුද්ධි අංශයේ නිලධාරීන්ට හැගිණි. ඒ අත්අඩංගුවට පත් විගස තුෂ්ණිම්භූත වූ ආගන්තුකයා අතපය හසුරුවමින් ගොළු බසින් කථා කරන්නට වූ බැවිනි.
"ඒ මිනිහා ගොළුයි. හොඳට ම කලබල වෙලා. අපි එයා ගෙ ඇගිලි සලකුණු සහ DNA විශ්ලේෂණය කරනවා" නේතන් මූලික ප්‍රශ්න කිරීමේ විස්තර විපතට පත් කණ්ඩායමේ අනෙක් අයට කී ය.
"සමහර විට මිනිහව තව කවුරු හරි මෙහෙයනවා ඇති. මිනිහා ගොළු නිසා. එයා ගෙ මෙහෙයුම්කාරයා ගෙ අනන්‍යතාවය කවදා වත් එළි වෙන්නෙ නැහැ. ඉතා බුද්ධිමත් සැලැස්මක්" සැමී සිය ප්‍රියතම පානයෙන් උගුරක් බොන ගමන් පැවසී ය.
අනෙක් අය කල්පනාකාරීව හිස වැනූ හ. සොරා, වැඩිදුර පරීක්ෂණය සඳහා විශේෂිත සිරමැදියක රඳවා තිබිණි. එය ඉතා උස, ඝනකම් සිමෙන්ති බිත්ති සහ ඉහළ ශක්තිමත් දැලක් සහිත වා කවුළුවකින් සමන්විත කුටීරයක් විය. සිර කුටීරයේ දොරවල් ද ඉතා ශක්තිමත් ව තනා තිබුණ අතර, එය තුළින් එළිය බැලීම සඳහා ශක්තිමත් වීදුරුවක් සහිත කවුළුවක් විය. සිර කුටීරයේ දොර දෙපස ආයුධ සන්නද්ධ මුර සෙබළු දෙදෙනෙක් වූ හ.
මේ අතර, එරික් DNA ඇගිලි සලකුණු වාර්තාව රැගෙන කාමරයට කඩා වැදුණේ මහත් කලබලයකිනි.
"මේ මිනිහා Weeding Intelligence ත්‍රස්ත කල්ලියේ ප්‍රබල සාමාජිකයෙක්ෘ නම හෙන්රි හාවඩ්!! මිනිහ ගෙ කකුල නැති වෙල තියෙන්නෙ කර්නල් ඩේවිඩ් ගෙ ප්‍රහාරයක් නිසා. අපි හිතන්නේ මිනිහ ගොළුයි කියලා රගපාන්නේ බොරුවට. වහාම යමු"
Weeding Intelligence ත්‍රස්ත කල්ලිය ලෝකයේ එදා මෙදාතුර බිහි වූ භයානකතම කල්ලියක් වූ අතර, තාක්ෂණික අවි නිපදවීම සහ හැසිරවීම අතින් ඔවුහු ඉදිරියෙන් ම සිටිය හ. ප්‍රධාන පෙළේ රටවල බිහි වන බුද්ධි අංශයේ නිලධාරීන් මුලිනුපුටා දැමීම ඔවුන් ගේ පරමාර්ථය විය. එම නිසා ඔවුන් ගෙන් සාමාන්‍ය වැසියනට තර්ජනයක් නො වී ය. තමන් ගේ කල්ලියේ සාමාජිකයෙක්ට කවරකු හෝ යම් හානියක් කළ විට, ඔවුන් එළවා එළවා පහර දීම මේ කල්ලියේ ප්‍රධාන ලක්ෂණයයි. කර්නල් ඩේවිඩ් ගේ පහර කෑමකින් හෙන්රි හාවඩ් ගේ කකුල නැති විය. ඔහු කර්නල් ඩේවිඩ්ව ඝාතනය කළේත්, කර්නල් ඩේවිඩ් ගේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් ලුහුබඳින්නේත් මේ නිසා ය.
"එහෙනම් මිනිහා අපිව මරන්න ගෙනාපු නිහඩ අවිය කට ඇතුළේ හංගගෙන ඇත්තේ. ඒකයි ගොළු විදිහට රගපෑවේ" සැමී පැවසුවේ අවසාන බීම උතුර පානය කර, අනෙක් අය පසුපසින් දිව යන ගමන් ය.
එහෙත් ඔවුන් සිරමැදිරියට ළගා වන විට එතන වෙනත් කලබලයකි. සොරා හෙවත් හෙන්රි හාවඩ් දැඩි බිත්තිවල ඔළුව හප්පාගෙන සිය දිවි හානි කරගෙන ය. සිර මැදිරියේ මුර භටයන් දෙදෙනා ඔවුන් සතු ගිනි අවිවලින් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන සිටිය හ. කුමක් සිදු වූවා ද යන්න කාට වත් සිතාගත නො හැකි විය.
නේතන්, එරික් සහ සැමී මිය ගිය හෙන්රි ගේ සිරුරත්, විශේෂයෙන් ම මුඛයත් සිරුර අසළත් හොඳින් පරීක්ෂා කළ හ. ඔහු ගේ සිරුරට යට වී ලේවලින් තෙත් වූ කුඩා දුරස්ථ පාලකයක් විය. එය කටේ සගවාගෙන සිටිය හැකි ප්‍රමාණයේ එකකි.
"මේ දුරස්ථ පාලකයේ බොත්තම්වලින් සියදිවි හානි කරගැනීමේ ආශාව ප්‍රේරණය කරන්න පුළුවන් ඇති. ඔබල ම බලන්න ඕනේ" එරික් එය එහාට මෙහාට හරවමින් පැවසී ය.
"මෙතන නම් එපා!" අනෙක් අය එකවර කෑ ගැසූ හ. ඔවුහු සිය ප්‍රධාන කාර්යාලයට ගොස් දුරස්ථ පාලකයේ කොටස් ගලවා බැලූ හ. එය පෙනුමෙන් සරල, නමුත් ප්‍රබල එකක් විය. එහි බොත්තම්වලින් කිසිවක් සක්‍රිය/අක්‍රිය කළ හැකි බව ගම්‍ය විය.
"අපි මගේ කාර් එක ගාවට යමු. ගිහිල්ල බලමු මේකෙන් සක්‍රිය වෙන්නෙ මොනව ද කියලා" සැමී දුරස්ථ පාලකය අතට ගනිමින් පැවසී ය. ඔවුන් තිදෙන සැමී ගේ වාහනය ගාල් කර තිබූ පරීක්ෂණාගාර ගරාජය වෙත ගමන් කළ හ. එය පිහිටියේ ප්‍රධාන ගොඩනැඟිල්ලේ පොළොව මට්ටමට වඩා තට්ටු හතරක් පහළ වූ මහලක ය. ඔවුන් එහි යන විට, සැමී ගේත් පැමෙලා ගේත් වාහනවලට අමතරව, කර්නල් ඩේවිඩ් ගේ හැප්පී විකෘති වූ වාහනය ද විය.
වාහනවලට මීටර දහයක් පමණ දුරින් සිට දුරස්ථ පාලකයේ බොත්තම් ඔබන ලදි. කිසිදු වෙනසක් නො විණිත නො පෙනිණි. ඉන්පසුව පැමෙලා ගේ වාහනය අසළට එරික් ද, සැමී ගේ වාහනය අසළට නේතන් ද ගමන් කළෝ ය.
සැමී හුන් තැන සිට දුරස්ථ පාලකයේ බොත්තම් තත්පර පහකට ඔබා අත හැරියේ ය. ඔහු දුටුවේ අමුතු දසුනකි. බොත්තම ඔබාගෙන සිටි කාලය තුළ වාහන අසළ සිටි නේතන් සහ එරික් සිය හිස බදාගෙන, උමතුවෙන් "මට මැරෙන්න ඕනේ. මට මැරෙන්න ඕනේ" යෑයි කෑ මොර දෙන්නට වූ හ. බොත්තම අතහළ විගස ඔවුන් ගේ උමතු චර්යාව මගහැරිණි.
සැමී වහා ඔවුන් වෙත දිව ආවේ ය. නේතන් කාරයට හේත්තු වී බිම වාඩි විය. එරික් බිම දිගා විය.
"කාර් එකේ මොකක් හරි හයි කරල තියෙනවා. ඒක ඔය දුරස්ථ පාලකයෙන් සක්‍රිය කරන්න පුළුවන්" එරික් හති අරිමින් තවමත් බිම දිගා වී සිටින ගමන් පැවසී ය. සැමී ගේ උදව් ඇති ව නේතන් නැගිට සෙමින් සෙමින් කකුල අද්දමින් එරික් වෙතට ආවේ ය.
"ඔක නම් ආයි ඔබන්න එපා! නේතන් නිදිමතින් සහ තෙහෙට්ටුවෙන් සැමීට කී ය.
"මේ දුරස්ථ පාලකයෙන් සක්‍රිය වෙන දේ තියෙන්නේ කාර් එකේ. ඒත් ඒ සක්‍රිය වන මෙවෙලමේ සක්‍රියත්වයට බලපාන්නේ කෙටි පරාසකයට විතරයි. අපි අතන ඉන්නකොට, ඒ කීවේ කාරයට මීටර දහයක් විතර එහායින් ඉන්න කොට අපිට පිස්සු හැදුණෙ නැහැ. පිස්සු හැදෙන්නේ කාරයට ගොඩක් ළගින් ඉන්න අයට විතරයි" සැමී පැහැදිලි කළේ ය.
"ඒත් අපි වාහන දෙක ම අගලෙන් අගලට ස්කෑන් කරා. විශේෂයෙන් හෙන්රි අතපත ගාපු දොරවල්, හැඩල සියල්ල ස්කෑන් කරා. ඒත් ඒවායේ පෘෂ්ඨවල ඇලවිලා තිබුණ කිසි ම මෙවලමක් මැක්‍රො ස්කෑනර් යන්ත්‍රයට හසු වුණේ නැහැ නේ" එරික් අමාරුවෙන් නැගිටිමින් පැවසී ය.
ඔවුන් තිදෙනා පැමෙලා බලන්නට ගොස් ඇය සමග සියලු විස්තර බෙදාගත් හ.
"මටත් හිතාගන්න බැහැ කොහොම වෙනව ද කියලා. ඒත් අපිට දැන් තේරෙනවා, හෙන්රි හාවඩ් අපේ වාහනවල යම් මෙවලමක් සවි කරලා, අපි වාහනවලට නැග්ගායින් පස්සේ, එයා දුරස්ථ පාලකයකින් ඒ මෙවලම සක්‍රිය කරනවා. එතකොට අපිට පිස්සු හැදෙනවා. සියදිවි හානි කරගන්න හිතෙනවා" ඇය පැහැදිලි කළා ය.
"කර්නල් ඩේවිඩ් ගේ අකල් මරණයත් මේ විදිහට මයි සිද්ධ වෙන්න ඇත්තේ" පැමෙලා ඒ ඛේදවාචකය මතක් කර දුන් විට, ඇති වූ වේදනාවට සැමී සිය අතැති පානයෙන් උගුරු දෙකක් ම පානය කළේ ය.
සියලු දෙනා නිහඩ ව කල්පනා කරන්නට විය. "හ්ම්! අපි තව දෙයක් සලකලා බලන්න ඕනේ" සැමී තම බීම කෑනය තදින් අල්ලාගනිමින් පැවසී ය.
"මොකක් ද?" අනෙක් අය එකවර ඇසූ හ.
"දේවල් දෙකක්. ඇත්තෙන් ම අපි වාහනය ස්කෑන් කළේ මැක්‍රො ස්කෑනර් එකෙන් පමණයි. මම ඇසට නො පෙනෙන දේවල් ස්කෑන් කරන්න පුළුවන් නැනෝ ස්කෑනර් එකක් නිර්මාණය කළා. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. දෙවැනි කාරණාව, හෙන්රි හාවඩ් හිටපු සිර කුටීරයටත්, අපේ වාහනවලටත් එක පොදු සාධකයක් තියෙනවා."
"ඒ මොකක් ද?" එරික් විමසී ය.
"වීදුරු! සිර මැදිරි දොරේ වීදුරු කවුළුවක් තිබුණා. එතකොට අපේ වාහනවලත් දොරේත් ඉදිරිපසත් වීදුරු තියෙනවා. හෙන්රි ඇතුළු කරපු දෙයක් මේ වීදුරුවල ඇති. ඒක මගේ නැනෝ ස්කෑනර් යන්ත්‍රයට හසු වේ වි." සැමී බලාපොරොත්තු සහගතව පැවසී ය.
ඔවුහු යුහුසුලුව ක්‍රියාත්මක වූ හ. ඔවුන් මුලින් ම සිර කුටීරයේ දොරේ වූ වීදුරුව පරීක්ෂා කළ හ. සැමී බලාපොරොත්තු වූ පරිදි, වීදුරුවේ ඝනකම තුළ රැඳී තිබුණු නැනෝ චිපයක්, ඔහු ගේ නැනෝ ස්කෑනර් යන්ත්‍රය විසින් සොයාගන්නා ලදි. ඒ ආකාරයෙන් ම, වාහන දෙකේ දොරවල තිබුණු වීදුරුවලින් නැනෝ චිප දෙකක් ලැබිණි. කර්නල් ගේ වාහන සුන්බුන්වල වූ දොරේ වීදුරුවෙන් ද එවැනි චිපයක් සොයාගැනිණි. ඒ සැම චිපයක් ම නැනෝ රොබෝවකු ගෙන් සමන්විත විය. මේ චිපය වීදුරු පෘෂ්ඨයක් ස්පර්ශ වූ විගස ම, නැනෝ රොබෝවා සක්‍රිය වී, පෘෂ්ඨයට අභිලම්බකව එය කපාගෙන වීදුරුව ඇතුළට යයි. නැනෝ රොබෝවා යන විට, ඒ සමග ම රොබෝවාට ඈඳී ඇති නැනෝ චිපය ද ඇතුළට ඇදී ගොස්, වීදුරු පෘෂ්ඨයට අභිලම්භකව රැඳේ. එම චිප තුළ වැය වුණු රසායනික සංයෝග කිහිපයක් විය.
"මම හිතන්නේ මේ චිප් එක ඇතුළේ තියෙන රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරන්නේ අර දුරස්ථ පාලකයෙන් සංඥාවක් ලැබුණහමයි." එරික්, සැමී ගේ පරිගණක තිරයට එබෙමින් පැවසී ය. ඔවුහු සියලු දෙනා පරිගණකය වටා රොක් ව සිටිය හ.
සැමී බීම උගුරක් පානය කර කථා කරන්නට විය. "මම හිතන්නේ මේ රසායන ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කළා ම පිට වන ශක්තිය මොළයේ චින්තනයට බලපෑම් කරනවා වෙන්න ඇති. අපේ මොළය විද්‍යුත් රසායන (electrochemical) අවයවයක්. මොළයේ ක්‍රියාකාරිත්වය අනුව ඇල්ෆා, බීටා, තීටා සහ ඩෙල්ටා කියන තරංග වර්ග හතර නිකුත් වෙනවා." සැමී මිනිස් මොළය ගැන ඇති සීමිත දැනීම එලෙස ප්‍රදර්ශනය කළේ ය.
නේතන් අත් දෙක බැඳගෙන සැමී දෙස එක එල්ලේ බලමින් කල්පනා කරන්නට විය. "හ්ම්.... ඒත් ඔයා කියන ඔය කිරණ මොළය ඇතුළිත් ජනනය වෙන ඒවා. නමුත් අපි මෙහෙම හිතලා බලමු. අපි කරන සෑම ක්‍රියාවක දී ම මොළයෙන් මොනයම් හෝ කිරණයක් නිකුත් වෙනවා. සියදිවි හානි කරගන්න හදන කොටත් මේ කිරණවලින් එකක් තීව්ර විදිහට නිකුත් වෙනවා ඇති. අපිට මේ තරංගය කෘත්‍රිමව නිපදවලා ආපස්සට අපේ මොළයට එක එල්ලේ පතිත කරන්නට පුළුවන් නම්, ඒ තරංගයේ බලපෑමෙන් අපිට සියදිවි හානි කරගැනීමේ අවශ්‍යතාවක් උත්පාදනය කරගන්නත් පුළුවන් වේ වි. මම හරි ද?" නේතන් අනෙක් අය ගෙන් විමසී ය.
"මාරයි! Linear Programming iy Reverse Enginering'' භෞතික විදයාඥවරියක වූ පැමෙලා කීවේ ඇය හේත්තු වී සිටි කොට්ට එහා මෙහා කරන ගමන් ය.
"ඕවා සංකීර්ණ ගණිත ක්‍රම. සියදිවි හානි කරගන්න කොට මොළයෙන් නිකුත් වන තරංගයේ හැඩය ඩිජිටල් තාක්ෂණය යොදාගෙන ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. ඒක සුළු දෙයක්. නමුත් ඒ තරංගය ජනිත කරන්න පුළුවන් නැනෝ චිපයේ රසායනික සංයෝගය හදන එක සංකීර්ණ වැඩක්. ඒකට අවශ්‍ය මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයුතිය, මම හිතන විදිහට Linear Programming වලින් තීරණය කරන්න පුළුවන්. ඒ වගේ ම මනසින් ආපු දෙයක් ප්‍රතිනිර්මාණය කරලා මනසට ම නැවත පතිත කිරීම Reverse Engineering කියලා කියන්න පුළුවන්."
උමතු රියදුරු අභිරහස යම්තාක් දුරට එතෙකින් විසඳුණ ද පිළිතුරු සෙවිය යුතු කරුණු තවමත් විය. එම නැනෝ චිප නිෂ්පාදනය කළේ කවුද, ඒවායේ ඇති රසායනික සංයෝග මොනවා ද යන්න තවමත් අභිරහසකි. "හ්ම්.. හෙන්රි හාවඩ් අපේ අත්අඩංගුවේ ඉද්දි මැරුණ නිසා, එයා ගෙ සගයන් අපව ලුහුබඳී වි. ඒ නිසා අපි ඒ ත්‍රස්ත කල්ලිය මුලිනුපුටා දැමීම සඳහා සංවිධානය වෙන්න ඕනේ. අපේ කණ්ඩායමේ නිර්මාතෘ කර්නල් ඩේවිඩ්ට කරන්න පුළුවන් ලොකු ම ගෞරවය ඒකයි. අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ කාට වත් හිතාගන්න බැරි, සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් නො වන ක්‍රමවලට. අපි ඒකට හරියන්න නමක් සහ ලාංඡනයක් හිතමු" නේතන් යෝජනා කළේ ය.
සියල්ලෝ ම නිශ්ශබ්දව කල්පනා කළ හ. සැමී පමණක් සිය ප්‍රියතම පානය තොලගාමින් කල්පනා කරන්නට විය. එරික් හදිසියේ ම සිනාසිණි.
"මම දෙන්නම් හොඳ ම අදහස. ලාංඡනය, සැමී ගේ කෑන් එක, නම, 'උමතු රියදුරුෘ" සියල්ලෝ ම සිනාසුණෝ ය. 'උමතු රියදුරු විශේෂ කාර්ය බළකාය' නිර්මාණය වුණේ එලෙස ය.
No comments:
Post a Comment