Sunday, April 19, 2020

සත්‍ය ප්‍රේමය



"අනූඅට-අනූ නවය-සීය" ග්ලෝරියා මෙතෙක්‌ වේලා තම දැස්‌ වසාගෙන සිටි කුඩා අත්ල ඉවතට ගෙන දහවල් හිරු කිරණ අතරට වී මොහොතක්‌ නිසල ව බලා සිටියා ය. ඉන් පසුව කඩිනමින් වටපිට බලා ඇය හේත්තු වී සිටි ගස ළගින් ඈත් වී සෙමෙන් අඩිය තබා පියවර කිහිපයක්‌ ගමන් කළා ය.

ඇය ගෙල හරවා තැලී පොඩි වී ගිය පඳුරු තිබේ දැයි විපරම් කර බැලුවා ය. කෘමීන් ගෙන් නැෙගන හඩත්, වරින් වර ඇසෙන කුරුල්ලන් ගේ නාදයත් හැර පරිසරය නිශ්චල විය.

"මම හිතන්නේ එයා ගේ ඇතුළට යන්න ඇති. මම එයාට කී සැරයක්‌ කියලා තියනව ද එහෙම කරන්න එපා කියලා." ග්ලෝරියා කුඩා මුව තද කොට නළල රැළි ගන්වා නිශ්චිත වූ හැඟීමකින් යුතු ව, මහා මාර්ගයට යාබද ව වූ දෙමහල් ගොඩනැඟිල්ල දෙසට ගමන් කරන්නට වූවා ය.

එහෙත් ඇයට පිටුපසින් ඇසුණු සර සර හඩත්, රිද්මයානුකූල ව නැඟුණු ලෝහමය පාද ගැටෙන හඩත් ඇසෙන විට ඇය සෑහෙන දුරක්‌ ගමන් කොට තිබිණි. ඇගේ ප්‍රතිමල්ලවයා සැඟවුණු තැනින් ඉවතට පැන හැකි තරම් වේගයෙන් දිණුම් කණුව කරා ජයග්‍රාහි ව දිව යන අයුරු ඇයට දැකගත හැකි විය.

ග්ලෝරියා, කලබල වී කෑගසන්නට වූවා ය.

"ඔහොම ඉන්න රොබීෘ ඔයා හරි නරකයි. ඔයා පොරොන්දු වුණා නේ මම ඔයාව හොයාගන්නකම් දුවන්නේ නැහැ කියලා"

රොබී ගේ දිගු පාද හමුවේ ඇගේ කුඩා දෙපාවලට ජයගත නොහැකි බව පැහැදිලි විය. එහෙත් දිණුම් කණුවට අඩි 10ක්‌ පමණ ආසන්නයට පැමිණි විට රොබී ගේ වේගය එක්‌වර ම ඉතා ම අඩු වන්නට විය. මේ අතර ග්ලෝරියා හැකි තරම් වේගය වැඩි කොට රොබී පසු කර දිව ගොස්‌ දිණුම් කණුව වූ ගස වෙත පැමිණ එය ජයග්‍රාහී ව අල්ලාගත්තා ය.

තම විශ්වාසවන්ත රොබෝ මිතුරා කළ පරිත්‍යාගය ගැන මොහොතකට වත් නො සිතා ග්ලෝරියා, ඔහුගේ දිවීමේ හැකියාව ගැන සමච්චල් කරන්න වූවා ය.

"රොබීට බෑ දුවන්න. හූ... හූ..."

ඇය හැකි තරම් උස්‌ හඩින් කෑගසන්නට වූවා ය.

"මට ඕනේ දවසක පුළුවන් එයාව පරද්දන්න. මට ඕනේ දවසක පුළුවන් එයාව පරද්දන්න." ඇය එය ලතාවකට අනුව ගයන්නට වූවා ය.

රොබී කිසිවක්‌ කීවේ නැත. ඔහු ඇය මඟහැර රවුමට දුවන්නට පටන්ගත්තේ ය. ඇය තම කුඩා දැත් විදහාගෙන ඔහු පසුපස එලවන්නට වූවා ය.

"රොබී ඔහොම ඉන්නවා· මුවට නැඟුණු සිනාව පාලනය කරගනීමට ඇය කෑගැසුවා ය."

ඊළඟ මොහොතේ රොබී ඇය වෙත හැරී ඇය ඔසවා වේගයෙන් කරකවා නැවත බිම තැබී ය. ඇය රොබී ගේ පාදයකට හේත්තු වී ඔහු ගේ ලෝහමය ඇඟිල්ලකින් අල්ලාගෙන තණ බිම මත සිටගෙන සිටියා ය.

ටික වේලාවකින් ඇය ගේ වෙහෙස දුරු විය. ඇය ඇගේ අවුල් ව ගිය කෙස්‌ කළඹ සකසාගත් අතර ඇදුම් ඉරී ගියා දැයි පරීක්‌ෂා කර බැලුවා ය.

"නරක ළමයා· මම ඔයාට හොඳ දඩුවමක්‌ දෙනවා." ඇය රොබීට පහරක්‌ ගැසුවා ය. රොබී ඔහු ගේ දැතින් මුහුණ ආවරණය කරගත්තේ ය. ඇයට ඔහු ගැන අනුකම්පාවක්‌ ඇති විය.

"නෑ, රොබී මම ඔයාට ගහන්නේ නෑ. කොහොම වුණත් ඔයා ගේ කකුල් දිග නිසා මම ඔයාව හොයාගන්නකම් දුවන්නේ නෑ කියලා ඔයා පොරොන්දු වුණා නේ. දැන් හැංගෙන්නේ මම හරි ද?"

රොබී ඔහු ගේ හිස වනා ගස ළඟට ගියේ ය.

තුනී ලෝහමය පටලයකින් ඔහු ගේ දිදුළන දැස්‌ වැසී ගියේ ය. ඔහු ගේ සිරුර තුළින් සමාන කාලාන්තරවලින් යුතු ව සිහින් හඩක්‌ නික්‌මිණි.

"හොරෙන් බලන්න බෑ හරි ද? සීයට යනකම් ගණන් කරන්නත් ඕනේ." ග්ලෝරයා රොබීට අනතුරු ඇඟවීමක්‌ කර සැඟවීම සඳහා නික්‌ම ගියා ය.

සමාන කාලාන්තර සියයක්‌ ගෙවී ගිය පසු රොබී ගේ ඇස්‌ ඇරිණි. ඔහු ගේ දිදුලන ඇස්‌, ගල් තලාවක්‌ අතරින් පිටතට මතු වී තිබූ වර්ණවත් යමක්‌ වෙත යොමු විණි. පියවර කීපයක්‌ ඉදිරියට ඇවිත් බැලූ විට එතැන ග්ලෝරියා සැඟවී සිටින බව ඔහුට පැහැදිලි විය.

ග්ලෝරියා හා දිනුම් කණුව අතරට වී සිට, ඇය සැඟවී සිටින ස්‌ථානය වෙත ඔහු පැමිණියේ ය. ඇයට පෙනෙන තෙක්‌ ළඟට පැමිණි පසු ඇය ඔහු දුටු බවක්‌ නො පෙන්වා සිටි නිසා ඔහු එක්‌ අතක්‌ ඇය වෙත දිගු කර, අනෙක්‌ අත ඔහු ගේ ලෝහමය පාදයක ගැටෙන්නට සැලැස්‌වී ය. ග්ලෝරියා, අකැමැත්තෙන් මෙන් සැඟවී සිටි තැනින් පිටතට පැමිණියා ය.

"ඔයා හොරෙන් බැලුවා නේ ද? කොහොම උනත් දැන් නම් මට හැංඟිමුත්තම් කරලා ඇති වෙලා තියන්නේ. දැන් ඔයා මාව කරේ තියාගෙන අරගෙන යන්න ඕනේ."

ඇය කළ බොරු චෝදනාව නිසා රොබී සිටියේ නොමනාපයෙනි. ඔහු හිස දෙපසට වැනී ය.

"අනේ රොබී මම ඔයා හොරෙන් බැලුවා කියලා බොරුවට නේ කිව්වේ. මාව අරගෙන යන්න කෝ."

රොබී ගේ සිත වෙනස්‌ කිරීම ඒ තරම් පහසු නො වී ය. ඔහු අහස දෙස බලා පෙරටත් වඩා දැඩි ලෙසින් හිස දෙපසට වැනී ය.

"අනේ රොබී මාව අරගෙන යන්න කෝ" ඇය ඔහු ගේ ගෙළ වටා අත යවා ඔහු තදින් වැළඳගත්තා ය. ඉන්පසු එක්‌වර ම අදහස වෙනස්‌ කරගෙන ඇය ඔහු ගෙන් ඈත් වූවා ය.

"ඔයා මාව අරන් ගියේ නැත්තම් මම අඩනවා". ඇය ඊට මුල පුරන්නට මෙන් මුහුණ සකස්‌ කරමින් කීවා ය."

රොබී ගේ ලෝහමය හදවත එවර ද උණු වූයේ නැත. ඔහු තුන්වැනි වරටත් තම හිස දෙපසට වැනී ය. අන්තිම තුරුම්පුව යෙදීමට අවශ්‍ය අවස්‌ථාව එළඹ ඇති බව ඇය තීරණය කළා ය.

"ඔයා මාව අරන් ගියේ නැත්තම් මම ආයේ කතන්දර කියලා දෙන්නේ නැහැ එක ම එක කතාවක්‌ වත්"

රොබී එක්‌ වර ම කොනදේසි විරහිත ව ම අවනත වී ලෝහමය බෙල්ලෙන් හඩක්‌ පිට වන තරම් ම වැරෙන් හිස වැනී ය. ඔහු ඇය පරිස්‌සමෙන් ඔසවා තම පුළුල් උරහිස මත හිඳුවාගත්තේ ය.

ග්ලෝරියා ගේ ඇස්‌වල වූ කදුළු ඉක්‌මනින් ම වියළී ගියේ ය. ඇය ප්‍රීතියෙන් පිනා ගොස්‌ තිබිණි. අධි ප්‍රතිරෝධී දඟර මගින් අංශක 70ක නියත උෂ්ණත්වයක පවත්වාගෙන තිබුණු රොබී ගේ යකඩ සම ඇයට ගෙන දුන්නේ සුවදායක හැඟීමකි. ඇගේ පාද රොබී ගේ යකඩ පපුවේ රිද්මයකට අනුව වැදීමෙන් නැඟුණු හඩ ද ඊට එක්‌කරේ චමත්කාරයකි.

"රොබී ඔයා අහස්‌ නැවක්‌. ලොකු රිදී පාට නැවක්‌. ඔයාෙරැa අත්දෙක දික්‌ කරගෙන ඉන්න." ග්ලෝරියා රොබෝ ගේ හිස කරකවා දකුණු දෙසට ඇල කළා ය. ඉන් පසු ඇය අහස්‌ නැවේ ගමනේ දී ඇති වන ශබ්දයන් ද අනුකරණය කළා ය.

ඔහු කෙත් යාය පසු කර වේගයෙන් ගමන් කොට එහි අනෙක්‌ පැත්තේ වූ තණබිම මත éණික ව නතර කළේ ය. ග්ලෝරියා කෑගසමින් තණබිම මතට වැටුණා ය.

"එක නම් හරි ම හොඳ ගමනක්‌." ඇය හති දමමින් ම කීවා ය.

රොබී ඇගේ විඩාව මඳක්‌ සන්සිෙදන තෙක්‌ සිට ඇය ගේ කෙස්‌ ගස්‌ කීපයකින් අල්ලා සෙමින් ඇද්දේ ය.

"ඔයාට මොනවා හරි ඕනෙ ද?"

ඔහු කෙස්‌ගස්‌ තවත් තද කර ඇද්දේ ය.

"මට තේරුණා ඔයාට කතාවක්‌ අහන්න ඕනෙ නේ ද?" රොබී වේගයෙන් හිස වැනුවේ ය.

"කොයි කතාව ද?"

රොබී ඔහු ගේ ඇඟිල්ලකින් අර්ධ වෘත්තාකර කොටසක්‌ අහසේ සලකුණු කළේ ය.

"ආයෙත් සැරයක්‌? මම ඔයාට සින්ඩරැල්ලා ගේ කතාව සිය පාරකටත් වැඩිය කියල තියනවා නේ. ඒක බබාල ගේ කතාවක්‌ නේ. ඇත්තට ම ඔයාට ඒක අහලා අහලා ම එපා වෙන්නෙ නැද්ද?"

තවත් අර්ධ වෘත්තාකාර කොටසක්‌ සලකුණු විය.

"හා කමක්‌ නැහැ තවත් සැරයක්‌ කියන්නම් කෝ." ඇය කතාවට අවශ්‍ය කරුණු මනසින් ගලපාගනිමින් රොබී දෙස බැලුවාය.

"ඔයා ලෑස්‌ති ද කතාව අහන්න? හරි ඔන්න එකමත් එක රටක හිටියා එලා කියලා ලස්‌සන ගැහැනු ළමයෙක්‌. එයාට හිටියා නපුරු කුඩම්මා කෙනෙක්‌. ඒ කුඩම්මාට හිටියා කැත ම කැත නපුරු දුවලා දෙන්නෙක්‌. එක දවසක්‌....."

ග්ලෝරියා, කතාවේ හොඳ ම කොටස කියමින් සිටියා ය. මධ්‍යම රාත්‍රිය එළඹ තිබිණි. රොබී නොඉවසිලිමත් ව දිදුලන දැස්‌ විදහාගෙන කතාවට සවන් දෙමින් සිටියේ ය.

"ග්ලෝරියා" එක්‌වර ම හදිසියේ ඇසුණු හඩකින් ඊට බාධා විය. එය එක්‌ වරක්‌ නො ව කිහිප වරක්‌ ම කතා කොට, ඉවසීමේ සීමාව ඉක්‌මවා යන්නට ආසන්න ව නිකුත් වූ හඩක්‌ විය.

"අම්මා මට කතා කරනවා." ග්ලෝරියා පැවසුවේ එතරම් සතුටකින් නො වේ.

"රොබී, ඔයා මාව ගෙදරට අරන් ගියොත් හොඳයි."

රොබී ඊට කැමැත්තෙන් ම ඉදිරිපත් විය.

වෙස්‌ටන් මහත්මියට කිසිදු පැකිළීමකින් තොර ව අවනත වීම වඩාත් සුදුසු බව ඔහු තීරණය කර තිබිණි. ග්ලෝරියා ගේ පියා ඉරිදා දිනවල හැර, දිවා කලයේ ගෙදර සිටියේ කලාතුරකිනි. ඔහු ප්‍රසන්න, කරුණු හරිහැටි තෝරාගත් ප්‍රසන්න පුද්ගලයෙක්‌ විය. එහෙත් ග්ලෝරියා ගේ මව, රොබීට හිසරදයක්‌ ව පැවැති අතර ඇය දුටු වහා ම එතැනින් ඉවත් ව යැමට ඔහු පුරුදු වී සිටියේ ය. ඔවුන් දෙදෙනා තණ පියසින් නැඟිට්‌ටාට පසු වෙස්‌ටන් මහත්මිය නිවස තුළට ගොස්‌ ඔහුන් එන තුරු රැඳී සිටියා ය.

"ග්ලෝරියා, කෑගහලා, කෑගහලා දැන් මගේ කටත් රිදෙනවා. කොහේ ද ගියේ?"

"මම රොබී එක්‌ක හිටියේ. මම එයාට

සින්ඩරැල්ලා කතාව කිය කියා හිටියේ. රෑ කෑම වේලාව ගැනත් අමතක වුණා." ග්ලෝරියා තතනමින් කීවා ය.

"රොබීට වත් ඒක මතක්‌ නො වුණු එකයි

වැරැද්ද රොබී, යන්න ගේ ඇතුළට. එයාට දැන් ඔයාව අවශ්‍ය නැහැ. මම කතා කරන කල්, මේ පැත්තට වත් එන්න ඕනෙ නැහැ. තේරුණා ද?" ඇය රොබී දෙස බලා තර්ජනාත්මක ස්‌වරයකින් පැවසුවා ය.

රොබී ආපසු යැමට සැරසුණත්, ග්ලෝරියා නිදහසට කරුණු කියමින් කළ කන්නලව්ව නිසා මඳක්‌ නැවතිණි.

"අනේ අම්මේ රොබීට යන්න කියන්න එපා. මට එයාට සින්ඩරැල්ලා කතාවේ ඉතිරි කොටස කියන්න තියෙනවා."

"ග්ලෝරියා·"

"අනේ ඇත්තමයි, අම්මේ, එයා අතන පුටුවේ ඉඳගෙන කිසි ම සද්දයක්‌ නො කර ඉඳී වි නේ ද රොබී?"

ඇය රොබී දෙස ද බලා කීවා ය. රොබී ඔහු ගේ හිස ඉහළට හා පහළට වැනුවේ ය.

"ග්ලෝරියා, ඔයා මේ නාඩගම් නැවැත්තුවේ නැත්නම් තව සතියක්‌ යනකම් ඔයාට රොබීව දකින්න ලැබෙන එකක්‌ නෑ තේරුණා ද?"

ග්ලෝරියා ගේ දැස්‌ බිමට යොමු විණි.

"සින්ඩරැල්ලා තමයි එයා ආස ම කතාව. මට එක ඔක්‌කොම කියලා ඉවර කරන්නත් බැරි වුණා. එයා හුඟක්‌ ම ආසයි ඒ කතාවට."

රොබී සැනසිලි සුවයකින් තොර ව ම පිට වී ගියේ ය. ග්ලෝරියා ඉකිබිඳුම ආයාසයකින් මැඩපවත්වාගත්තා ය.





ජෝර්ඡ් වෙස්‌ටන් එදින විවේක සුවයෙන් පසු විය. ඉරිදා දිනවල සැඳෑව ඔහු ගත කරන්නේ එලෙසිනි. සුවපහසු අසුනක ඉදගෙන පත්තර බලමින් සිටි ඔහුට, තම බිරිඳ එතැනට පැමිණීම බාධාවක්‌ විය. ඔහු පුවත්පතින් ඇස්‌ ඉවතට නො ගෙන, ඇය නුදුටු බවක්‌ හඟවාගෙන සිටියේ ය.

වෙස්‌ටන් මහත්මිය විනාඩි දෙකක්‌ නොඉවසිලිමත් හැඟීමකින් යුතු ව එතැන රැඳී සිටියා ය. ඉන් පසුව තවත් එපමණ ම කාලයක්‌ බලා සිට අවසානයේ දී නිශ්ශබ්දතාව බිඳ හෙලුවා ය.

"ජෝර්ඡ්·"

"හ්ම්?"

"ජෝර්ඡ්, ඔය පත්තරේ අහකට දමලා මා දිහා බලන්න."

පත්තරය බිම පතිත විය. වෙස්‌ටන් තම බිරිඳ දෙස බැලී ය.

"ඇයි ග්‍රේස්‌, මොකක්‌ ද ප්‍රශ්නේ?"

"නිකන් බබෙක්‌ වෙන්න හදන්න එපා ජෝර්ඡ් .මම කිව්වේ, ග්ලෝරියායි අර භයානක යන්ත්‍රයයි ගැන."

"මොන භයානක යන්ත්‍රය ද?"

"බොරුවට ඒ ගැන දන්නේ නෑ වගේ ඉන්න හදන්න එපා. මම කීවේ ග්ලෝරියා, රොබී කියලා කියන රොබෝවා ගැන. එයා කිසි ම වේලාවක දුව ළගින් හෙල්ලෙන්නේ නැහැ."

"ඉතින් ඒකේ වැරැද්ද මොකක්‌ ද? ඒක ඒ විදිහට ම වෙන්න ඕනේ නැහැ නේ. අනෙක්‌ එක එයා භයානක යන්ත්‍රයක්‌ නෙමේ. එයා, මුදලේ වටිනාකමට ලබාගන්න පුළුවන් හොඳ ම වර්ගයේ රොබෝවක්‌. එයාව අරගන්න මගේ අවුරුද්දකින් භාගයක පඩියට කිට්‌ටු ගණනක්‌ වියදම් වුණා. ඒත් එයා ඒ ගානට වටිනවා. මගේ කන්තෝරුවේ හුඟක්‌ සේවකයන්ට වැඩිය එයාට මොළේ තියනවා."

ඔහු පත්තරය ආපසු ගැනීමට තැත් කළ මුත් ඔහු ගේ බිරිද ඊට පෙර එය උදුරාගත්තා ය.

"ජෝර්ඡ් මම කියන දේ හොඳට අහගන්න. මම කැමැති නැහැ මගේ දුව යන්ත්‍රයකට භාර කරන්න. යන්ත්‍රය කොයි තරම් බුද්ධිමත් වුණත් මට ඒකෙන් වැඩක්‌ නැහැ. ජීවයක්‌ නැති යන්ත්‍රය මොනව ද හිතන්නේ කියලා කාට වත් කියන්න බැහැ. ළමයි කියලා කියන්නේ යකඩවලින් හදපු දේවල්වලින් ආරක්‌ෂා කරන ජාතියක්‌ නෙවෙයි."

"ඔයා කවදා ඉඳල ද එහෙම දෙයක්‌ හිතුවේ? එයා ග්ලෝරියත් එක්‌ක අවුරුදු දෙකක්‌ එකට හිටියා. ඒ වුණත් ඔයා මීට කලින් එහෙම දෙයක්‌ කිව්වේ නැහැ."

"මුල දී තත්ත්වය මීට වැඩිය වෙනස්‌. ඒ කාලේ ඒක අලුත් දෙයක්‌, මගෙ වැඩත් හුඟක්‌ අඩු වුණා. ඒ වගේ ම ඒක ඒ කාලේ විලාසිතාවක්‌ වුණා. ඒත් දැන් එහෙම නෙවෙයි. අපේ අසල්වැසියෝ...."

"මොකක්‌ ද මේකට අසල්වැසියන් ගේ තියෙන සම්බන්ධය..? දැන් බලන්න, රෝබෝවක්‌, ළමයි බලාගන්න මෙහෙකාරියකට වඩා විශ්වාසදායකයි. රොබීව හදලා තියෙන්නේ එකම එක දෙයක්‌ අරමුණු කරෙdගන විතරයි. ඒ කියන්නේ ළමයෙක්‌ ගේ සහකාරයෙක්‌ හැටියට. එයා ගේ සම්පූර්ණ මානසිකත්වය ම ඒ අරමුණට ගැලපෙන්නයි හදලා තියන්නේ."

"ඒ වුණත් කොතැන හරි වැරැද්දක්‌ වුණොත්? රොබෝවේ මොකක්‌ හරි කොටසක්‌ ගැලවිලා රොබෝව නපුරු වෙලා ඊට පස්‌සේ.." එය සිහි වත් ම එය වචනවලට නැඟීමට, ඇය අපොහොසත් වූවා ය.

මොන බොරු ද ඒක කොහොමට වත් වෙන්න බැරි දෙයක්‌. රොබීව සල්ලිවලට ගත්ත වෙලාවෙ දී, අපි පළමුවැනි රොබෝ නියමය ගැන දීර්ඝ වශයෙටන් සාකච්ඡා කළා. ඔයා දන්නව නේ. රොබෝවකට කවදා වත් මනුෂ්‍යයකුට හිංසාවක්‌ කරන්න බැරි බව. ඒක ගණිතානුකූලව වුණත් සිදු කරන්න බැරි දෙයක්‌. අනිත් එක අවුරුද්දකට දෙවතාවක්‌ ම, සමාගමෙන් ඉංජිනේරුවෙක්‌ ඇවිල්ලා රොබීව හොඳට පරීක්‌ෂා කරලා බලනවා නේ? ඔයාට, මට පිස්‌සු හැදෙන්න තියෙන හැකියාවටත් වැඩිය අඩු හැකියාවක්‌ එයාට ඒකට තියෙන්නේ. කොහොම වුණත් අපි කොහොම ද එයාව ග්ලෝරියා ගෙන් වෙන් කරලා තියන්නේ?"

ඔහු පත්තරය ගැනීමට තවත් වරක්‌ උත්සාහ කළේ ය. ඔහු ගේ බිරිඳ එය යාබද කාමරයට විසි කළේ කෝපයෙනි.

"අන්න හරි, ජෝර්ඡ්, දුව ළමයි එක්‌ක සෙල්ලම් කරන්නෙ නැහැ. යාළු වෙන්න අහල පහළ ළමයි ඕනේ තරම් ඉන්නවා. ඒත් එයාට ඒකට කැමැත්තක්‌ නැහැ. මම බල කරලා කිව්වේ නැත්නම් දුව ඒ ගොල්ලෝ ළඟට වත් යන්නේ නැහැ. ගෑනු ළමයෙක්‌ හැදෙන්න ඕනේ මේ විදිහට නෙවෙයි. දුව සාමාන්‍ය ගැහැනු ළමයෙක්‌ වගේ හැදෙනවට ඔයත් කැමති නේ. එයා සාමාජයේ නිසි තැන ලබාගෙන කටයුතු කරනවා දකින්න ඔයා කැමති වෙන්න ඕනේ."

"ග්‍රේස්‌ ඔයා මේ පොඩි දේකට බය වෙලා නේ කෑගහන්නේ. හිතන්න රොබී බල්ලෙක්‌ කියලා. තමන් ගේ තාත්තට වැඩිය බල්ලට කැමති ළමයි ඕන තරම් මම දැකල තියෙනවා."

"ජෝර්ඡ් බල්ලෙක්‌ ඊට වඩා වෙනස්‌. අපි මේකේ කෙළවරක්‌ දකින්න ඕනේ. ඔයාට පුළුවන් ඒක ආපහු සමාගමට විකුණන්න. මම ඒගොල්ලන් ගෙන් ඇහුවා, ඔයාට ඒක කරන්න පුළුවන්."

"ඔයා ඇහුවා? ග්‍රේස්‌, අපි මේ විදිහට සීමාන්තික ව කටයුතු කරන්න හොඳ නැහැ. ග්ලෝරියා තව ටිකක්‌ ලොකු වෙනකල් අපි රොබී ව තියා ගන්නවා. ඒ ගැන කතාව මෙතැනින් ඉවරයි. තේරුණා ද?" ඔහු කෝපයෙන් කාමරයෙන් පිට වී ගියේ ය.

එහෙත් ඊට දෙදිනකට පසු හැන්දැවේ වෙස්‌ටන් මහත්මිය තම සැමියා සමඟ නැවතත් ඒ ගැන කථා කළා ය.

"ජෝර්ඡ්, ඔයා දැන් වත් මම කියන දේ අහන්න ඕනේ, තේරුණා ද? අහල පහළ උදවිය මේක ගැන නරක ආකල්පයක්‌ ඇති කරගෙන තියෙනවා."

"මොකක්‌ ගැන ද?"

"රොබී ගැන"

"ඔයා මොනව ද මේ කියන්නේ?" වෙස්‌ටන් ගේ මුහුණ කෝපයෙන් රතු වී තිබිණි.

"මුල දී මුල දී මමත් ගණන් ගත්තේ නැහැ. ඒත් දැන් මටත් නිකන් ඉන්න බැහැ. අහල පහළ අය හුඟ දෙනෙක්‌, රොබී ව භයානක දෙයක්‌ හැටියට සලකන්නේ. හවසට ඒගොල්ලන් ගේ ළමයින්ට අපේ ගේ ළඟට එන්න ඉඩ දෙන්නෙ නැහැ."

"ඒ වුණාට අපේ දරුවා එයත් එක්‌ක ඉන්න එක ගැන අපට විශ්වාසයි නේ? ඒ ගොල්ලන්ට ඔන දෙයක්‌ හිතාගන්න කියනවා."

"එහෙම කිව්වට ප්‍රශ්නෙ විසඳෙන්නේ නැහැ. ජොර්ඡ් මට බඩුගන්න නගරෙට යන්න තියනවා. මට හැම දා ම ඒ ගොල්ලන්ව මුණ ගැසෙනවා. නගරේ අය රොබෝලා ගැන මීටත් වඩා නරකට හිතන්නේ. නිව්යෝක්‌වල ළඟ දී පනතක්‌ සම්මත කරලා තියනවා, ඉර බැහැලා ගිහින් පස්‌සෙන්දා ආපහු ඉර පායන වෙලාව අතර කාලය තුළ රොබෝලව මහමඟින් ඈත් ව තියගන්න ඕනේ කියලා."

"ඒ වුණත් අපට අපේ ගේ ඇතුළේ රොබෝවක්‌ තියාගන්න එක ඒ අයට වළක්‌වන්න බැහැ. ග්‍රේස්‌, මේක ඔයා ගෙ උප්පරවැට්‌ටියක්‌. මට ඒ බව තේරුණා. ඒත් ඒකෙන් වැඩක්‌ වෙන්නේ නැහැ. මගේ උත්තරේ තාමත් කලින් එක මයි. අපි රොබීව තියාගන්නවා."

එහෙත් ඔහු තම බිරිඳට ආදරය කළේ ය. ඇය ද එය දැන සිටියා ය. ජෝර්ඡ් වෙස්‌ටන් පිරිමියකු වූ නිසා ඇය ඇගේ ගැහැනුකම ආයුධයක්‌ කරගත්තා ය.

"අපි රොබී ව තියාගන්නවා. ඒ ගැන ආයෙත් කථා කරන්න එපා.·" ඊළඟ සතිය තුළ දී දස වරක්‌ පමණ ඔහු එසේ කෑගැසී ය. එනමුත් එහි හඩ ක්‍රම ක්‍රමයෙන් බාල වී ගියේ ය.

අවසානයේ ඔහු සිය දියණිය හමු වීමට ගොස්‌ ද්වේශසහගත හැඟීමකින් යුතු ව ගමේ පවත්වන "අලංකාර" සංදර්ශනයක්‌ ගැන කීමට සිදු වූ දිනය උදා විය.

ග්ලෝරියා ප්‍රීතීයෙන් අත්පුඩි ගැසුවා ය.

"රොබීත් එක්‌කන් යනව ද?"

"නැහැ, දුව. ඒවාට රොබාaලට එන්න ඉඩ දෙන්නෙ නැහැ. ඒ වුණත් ගිහින් ආවට පස්‌සේ ඔයාට ඒ ගැන ඔක්‌කෝ ම විස්‌තර එයාට කියන්න පුළුවන් නේ." ඔහු අවසන් වචන කිහිපය තතනමින් කියා ඉවත බලාගත්තේ ය.

ග්ලෝරියා එදින එහි ගොස්‌ ආපසු ආවේ දැඩි උද්යෝගීමත් හැඟීමකින් යුතු ව ය. සංදර්ශනය අතිශයින් ම උත්කර්ෂවත් විය.

ඇය, තාත්තා ජෙට්‌ - මෝටර් රථය හසුරුවා ගරාජයට ගන්නා තෙක්‌ බලා සිටියා ය.

"තාත්තේ මම රොබීට කියල එන්නම්. එයා ඒකට හුඟක්‌ කැමති වෙයි."

ඔහුට තවදුරටත් මෝටර් රථය තුළට වී සිටිය නොහැකි විය. තමාට දැන් යථාර්ථයට මුහුණ දීමට සිදු වන බව ඔහු දැන සිටියේ ය.

ග්ලෝරියා මිදුල හරහා දිව ගියා ය.

"රොබී- රොබී·"

දොර අසල දී දුඹුරු පැහැති දැස්‌ විදාගෙන වලිගය වනමින් සිටි දිගු ලෝමවලින් ගැවසී ගත් අලංකාර බල්ලකු දැක ඇය එක වර ම නැවතුණා ය.

"ෂා ලස්‌සන බල්ලෙක්‌·" ග්ලෝරියා ඌ අසලට විත් ඌ අතගාන්නට වූවා ය.

"එයා මට ද ගෙනාවේ තාත්තේ?"

ඇගේ මව ද ඔවුන් අසලට පැමිණ සිටියා ය.

"ඔව් දුව, ඔයාට තමයි. එයා ලස්‌සනයි නේ? ඔයා වගේ ළමයින්ට එයා හරි කැමතියි."

"එයාට සෙල්ලම් කරන්න පුළුවන් ද?"

"ඔව්, ඔව් එයාට පුළුවන් සෙල්ලම් ඕන තරම් තියෙනවා. ඔයා කැමති ද ඒවා බලන්න?"

"ඔව් ගොඩාක්‌ කැමතියි. රොබීටත් එයා ව පෙන්නන්න ඕනේ. රොබී·"

ඇය නතර වී මඳක්‌ කල්පනා කළා ය.

"එයාව සංදර්ශනයට එක්‌කගෙන ගියේ නැති එක ගැන මාත් එක්‌ක තරහ වෙලා වෙන්න ඇති. එයා එයා ගේ කාමරයට ම වෙලා ඉන්නේ. තාත්තා කිව්වොත් නම් එයා පිළිගනී වි, රොබෝලට ඒවට එන්න දෙන්නේ නෑ කියලා."

වෙස්‌ටන් මහතා තම බිරිඳ දෙසට හැරිණි. එහෙත් ඇය ගේ මුහුණ දෙස එක එල්ලේ බැලීමට ඔහු අපොහොසත් විය.

ග්ලෝරියා ආපසු හැරී පඩිපෙළ බැස, හඩ නඟමින් දිව ගියා ය.

"රොබී - ඇවිත් බලන්න කෝ, අම්මයි තාත්තයි මට ගෙනත් දීපු දේ. රොබී, ඒගොල්ලෝ මට ලස්‌සන බල්ලෙක්‌ ව ගෙනැල්ලා."

ඊට මොහොතකට පසු, ඇය බියපත් බවකින් යුතු ව ආපසු පැමිණියා ය.

"අම්මේ, රොබී එයා ගෙ කාමරේ නෑ. කෝ එයා?"

කිසිවකු ගෙන් පිළිතුරක්‌ නො ලැබිණි. ජෝර්ඡ් වෙස්‌ටන් අමුතු උනන්දුවකින් මෙන් අහස දෙස බලා සිටියේ ය.

"කෝ අම්මේ රොබී?" වෙස්‌ටන් පහත්මිය වාඩි වී, තම දියණිය ළඟට කැඳවාගෙන මුදු ස්‌වරයෙන් කතා කරන්නට වූවා ය.

"කණගාටු වෙන්න එපා ග්ලෝරියා, මම හිතන්නෙ රොබී යන්න ගිහින්."

"යන්න ගිහින්? කොහාට ද? කොහාට ද අම්මේ එයා ගිහින් තියන්නේ?"

"අපි කවුරුත් දන්නේ නැහැ දුව, එයා පිට වෙලා ගිහිල්ලා. අපි හැම තැන ම එයාව හෙව්වා. ඒත් හම්බ වුණේ නැහැ."

"ඒ කියන්නේ එයා අයෙත් කවදා වත් ම එන එකක්‌ නැද්ද?" භීතිය නිසා ඇගේ දැස්‌ විශාල වී තිබිණි.

"එයාව අපට ඉක්‌මනින් හොයාගන්න පුළුවන් වෙයි. අපි එයා ගැන දිගට ම හොයමු. ඒ අතරේ එයාට ඔයා ගේ ලස්‌පන බල්ලත් එක්‌ක සෙල්ලම් කරන්න පුළුවන් නේ. මේ බලන්න එයා."

"මට ඔය කෙහෙල්මල් බල්ල ව ඕනෙ නෑ. මට ඕනේ රොබී ව. මට කොහොම හරි රොබීව හොයල දෙන්න." ඇගේ හැඟීම් වචනවලින් කියාගැනීමට අපහසු වූ තැන එය විලාපයක්‌ බවට හැරිණි.

වෙස්‌ටන් මහත්මිය, උපකාරයක්‌ පතා තම සැමියා දෙස බැලුවත් ඔහු ගේ උනන්දුව තවමත් අහස දෙස ම වූ නිසා අස්‌වසාලීමේ කටයුත්ත ද තමා ම කිරීමට ඇය සිතුවා ය.

"අයි ග්ලෝරියා ඔයා අඩන්නේ? රොබී කියන්නේ යන්ත්‍රයක්‌ විතරයි. නිකම් ම නිකං යන්ත්‍රයක්‌. එයා කොහොමට වත් පණ තියෙන දෙයක්‌ නෙවෙයි."

"එයා පණ නැති යන්ත්‍රයක්‌ නෙවෙයි. එයා අපි වගේ ම එක්‌කෙනෙක්‌. අනිත් එය එයා මගේ යාළුවා. මට එයා ව ආපහු ඕනේ. අනේ අම්මේ මට ආපහු ගෙනත් ඕනේ." ග්ලෝරියා නපුරු වී කෑගසන්නට වූවා ය.

ග්ලෝරියා ගේ දුක ඇයට ම නැති කරගන්නට ඉඩ හැර ඇගේ මව පරාජිත ව පිට වී ගියා ය.

"එයා ගෙ දුක එයා ම නැති කරගත්තු දෙං" ඇය තම සැමියා සමඟ කීවා ය.

"ළමා කාලයේ ඇති වන දුක, හැම දා ම තියෙන්නෙ නැහැ. දවස්‌ දෙක තුනකින් ම එයාට ඒ රොබෝව තිබුණා ද කියල වත් මතක නැතිවෙලා යා වි."

එහෙත් වෙස්‌ටන් මහත්මිය ගේ ආකල්පය, පමණට වඩා සුබවාදී එකක්‌ බව, කාලය ගත වීමත් සමඟ පසක්‌ විය.





ඇත්ත වශයෙන් ම ග්ලෝරියා ගේ ඇඩීම නැවතුණි. එහෙත් ඒ අතර ම ඇගේ සිනාසීම ද නැවතී තිබිණි. ගත වූණු දිනයන්හි දී ඇය නිහඩ මුලුගැන්වුණු ස්‌වභාවයකින් පසු විය. ඇගේ දුකට තමාත් හවුල් වූවා ය යන හැඟීම වෙස්‌ටන් මහත්මියට ඉවසා සිටිය හැකි වූවත්, තම සැමියා ඉදිරියේ පරාජය පිළිගැනීමට නොහැකි ව ලත විය.

එක්‌ සැදැවක ඇය විසිත්ත කාමරය තුළට විත්, දැත් නවාගෙන කෝපයෙන් මෙන් පසු විය.

"ඒ පාර මොකක්‌ ද ග්‍රේස්‌?"

ඇගේ සැමියා පත්තරයට උඩින් බෙල්ල ඔසවා ඇය දෙස බලා ඇසී ය.

"අපේ දරුවා ගැන ජෝර්ඡ් මම කල්පනා කරන්නේ. බල්ලව ආපහු යවන්න අද මට සිද්ධ වුණා. ග්ලෝරියාට ඌව පෙන්නන්න බැහැ. මෙහෙම ගියොත් නම් මාව පිස්‌සු වැටෙනවා."

වෙස්‌ටන් පත්තරය පසෙකින් තැබූ අතර, බලාපොරොත්තු සහගත හැඟීමක්‌ ඔහු ගේ දැස්‌වල නිරූපනය විය.

"සමහර විට.. සමහර විට අපට ආයේ රොබීව ගෙන්නගන්න පුළුවන් වෙයි. ඔව්, එහෙම කරන්න පුළුවන්. මට පුළුවන් ඒගොල්ලොත් එකක්‌ කතා කරලා..."

"නැහැ." ඇය දැඩි ස්‌වරයකින් පැවසී ය.

"ඒ ගැන හිතන්න වත් එපා. අපි ඉක්‌මන් වෙලා බලාපොරොත්තු අත හරින්න නරකයි. සම්බන්ධය කඩන්න අවුරුදු ගාණක්‌ ගත වුණා වුණත්, මගේ දරුවා රොබෝවෙක්‌ යටතේ ඇතිදැඩි වෙන්න ඉඩ දෙන්න බැහැ."

වෙස්‌ටන් කලකිරුණු ස්‌වභාවයකින් යුතු ව පත්තරය අතට ගත්තේ ය. වෙස්‌ටන් මහත්මිය නැවතත් කතා කරන්නට පටන්ගත්තා ය.

"ග්ලෝරියාට ඕන කරන්නේ පරිසරයේ වෙනසක්‌. මෙහෙ ඉඳගෙන රොබී ව අමතක කරන්න එයාට බැහැ. හැම ගහක්‌ ගලක්‌ දැක්‌කමත් රොබී ව සිහි වෙනකොට එයා කොහොම ද ඒක අමතක කරන්නේ? මම නම් අහලා තියෙන ලොකු ම විහිළුව තමයි මේක. නැති වුණ රොබෝවෙක්‌ ගැන දුකින් තැවෙන දැරියක්‌".

"එතකොට ඔයා පරිසරය වෙනස්‌ කරන්න හදන්නේ මොන විදියට ද?"

"අපි එයාව නිව්යෝක්‌වලට එක්‌ කරගෙන යමු."

"නිව්යෝක්‌වලට? අගෝස්‌තු මාසේ? ඔයා දන්නව නේ අගෝස්‌තු මාසේ නගරයේ කොයි තරම් තදබදයක්‌ ද තියෙන්නෙ කියලා?"

"එහෙනං ඕන තරම් මිනිස්‌සු යන්නේ? කොහොම වුණත් අපි ඉක්‌මනින් ම යන්න ඕනේ, පුළුවන් තරම් ඉක්‌මනට. නගරයේ ග්ලෝරියා ආස දේවල් ඕන තරම් තියේ වි. අලුත් යාළුවෝ අඳුනගන්න ලැබෙයි. වැඩි දවසක්‌ නො ගිහින් ම එයාට රොබෝව ගැන අමතක වෙලා යා වි."

ජෝර්ඡ් ඇගේ අදහසට එතරම් කැමැත්තක්‌ දැක්‌වූයේ නැති බව වෙස්‌ටන් මහත්මියට තේරුණි.

"අපි කොහොම හරි යන්න ඕනේ. පහුගිය මාසෙ දි ග්ලෝරියා ගෙ බර රාත්තල් පහකින් අඩු වෙලා. මට මගේ දුව ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනවා බලාගෙන ඉන්න බැහැ."

"රොබී ව දුව ගෙන් ඈත් කරනකොට නම් සෞඛ්‍යය ගැන මකත් වුණේ නැහැ නේ ද?" ඔහු ගේ මුවින් එම වාක්‍යය පිට වූයේ නැත. සිතින් තමාට ම කියාගත්තා පමණි.

ළඟ දී ම නිව්යෝක්‌ නගරයට විනෝද සවාරියක්‌ යන බව කී වහා ම, ග්ලෝරියා ගේ හැසිරීම හොඳ අතට පත් වන ලකුණු පෙනෙන්නට තිබිණි. ඇය ඒ ගැන එතරම් කථා කළේ නැතත්, කථා කළ අවස්‌ථා කිහිපයක දී ඒ ගැන සැබෑ උනන්දුවක්‌ ඇති වූ බවක්‌ පෙනෙන්නට තිබිණි. නැවතත් ඇය පෙර මෙන් සිනාසෙන්නට වූ අතර ආහාර රුචිය ද වර්ධනය වී තිබිණි.

වෙස්‌ටන් මහත්මිය ඇය වැළඳගත් අතර ලැබුණු අවස්‌ථාව, තවමත් සැකයෙන් පසු වුණු තම සැමියා පරාජය වූ බව පෙන්වීමට යොදාගැනීමට ද අමතක නො කළා ය.

"දැක්‌ක ද ජෝර්ඡ්, එයා ගමනට ලෑස්‌ති වෙන්නේ මොන තරම් සතුටින් ද, කථා කරන්නෙත් හරියට එයාට මුළු ලෝකෙන් ම කිසි ම ප්‍රශ්නයක්‌ නැතුවා වගේ. මම කිව්ව නේ ඔයාට - අපිට කරන්න තියෙන්නේ එයා ආස කරන වෙනත් දේවල්වලින් ඒ අඩුව පුරවන එකයි."

"හ්ම්, මමත් හිතනවා." ඔහු ගේ පිළිතුර වූයේ එපමණකි.

òòòòòòòòòòò

ගමනට අවශ්‍ය මූලික දැ ඉක්‌මනින් සූදානම් කෙරිණි. නිව්යෝක්‌ නගරයේ, ඔවුන් නැවතී සිටින නිවස සම්බන්ධ කටයුතු පිළියෙල කෙරුණු අතර මෙහි නිවස බලා කියා ගැනීමේ කටයුතු ගෘහසේවක යුවලකට පැවරිණි. අවසානයේ දී ගමනට නියමිත දිනය එළඹුණු විට, ග්ලෝරියා සම්පූර්ණයෙන් ම පාහේ, පෙර පුරුදු සාමාන්‍ය තත්ත්වයට ම පත් වී සිටි අතර රොබී ගැන සඳහනක්‌ වත් ඇගේ මුවින් පිට නො වී ය.

පවුලේ සියලු දෙනා ම, ගුවන් ටැක්‌සි රථයකින් ගුවන් තොටුපළ වෙත පැමිණිය හ.

"එන්න ග්ලෝරියා" වෙස්‌ටන් මහත්මිය පැවසුවා ය.

"මම ඔයාට ජනේලේ ළඟ සීට්‌ එකක්‌ තියාගත්තා. එතකොට ඔයාට සිරි නරඹන්න පුළුවන් නේ."

ග්ලොරියා ආසන, පේළි අතරින් උද්යෝගිමත් ව ඇවිද්දා ය. ඉන්පසු ඇය ජනේලය තුළින් පිටත බලා සිටියා ය. ගුවන් යානය ගුවන්ගත වී, පොළොවෙන් ටිකෙන් ටික ඈත් වී, හඳුනාගත නොහැකි අන්දමට පත් වන තුරු ඇය බලා සිටියා ය. ඉන්පසු ඇය ආපසු මව වෙත හැරුණා ය.

"අපිට ඉක්‌මනට එහාට යන්න පුළුවන් වෙයි ද අම්මේ?"

"ඔව්, දුව පැය භාගයකින් විතර. ඔයා ආස නැද්ද එහෙට? නගරයේ ලොකු ගොඩනැඟිලි, මිනිස්‌සු, බලන්න ලස්‌සන දේවල් කොච්චර තියනව ද? අපිට හැම දා ම වුණත් සැණකෙළිවලට යන්න පුළුවන්. සර්කස්‌, මුහුදු වෙරළ, තව......."

"ඔව්, අම්මේ" ග්ලෝරියා පිළිතුරු දුන්නේ එතරම් උනන්දුවකින් නො වේ. වලාකුළු අතරින් ගමන් කර, ගුවන් යානය නැවතත් පැහැදිලි අහසට අවතීර්ණ වූ පසු, ඇය නැවතත් මව දෙසට හැරුණේ යම් රහසිගත දෙයක්‌ ගැන ඉව වැටුණාක්‌ මෙනි.

"අම්මේ, මම දන්නවා අපි නිව්යෝක්‌වලට යන්නේ ඇයි කියලා."

"ඔයා දන්නවා? මොකක්‌ ද?" වෙස්‌ටන් මහත්මියට එය ප්‍රහේළිකාවක්‌ විය.

"අම්මා මට ඒක නො කියා හිටියේ මාව පුදුමයට පත්කරන්න හිතාගෙන. ඒ වුණත් මම ඒක දැනගත්තා. අපි නිව්යෝක්‌වලට යන්නේ රොබී ව හොයාගන්න. රහස්‌ පරීක්‌ෂකයෝ යොදවලා රොබී ව හොයාගන්න."

ඇය ගේ ප්‍රකාශය ඇසුණු වහා ම, ජෝර්ඡ් වෙස්‌ටන් තමා බොමින් සිටි වතුර උගුරේ සිර කරගත්තේ ය. සෑහෙන වේලාවක්‌ පුරා පැවැති කැස්‌ස සමනය වූ පසු ව ද, ඔහු මහත් පීඩාකාරී බවකින් පසු වූ අතර ඔහු ගේ මුහුණ ද රතු වී තිබිණි.

වෙස්‌ටන් මහත්මිය, කලබල වූ බවක්‌ නො පෙන්වා සිටියත්, ග්ලෝරියා එම ප්‍රශ්නය ම තවත් වරක්‌ ඇසූ පසු, ඇගේ සිතේ ස්‌වභාවයේ මද වෙනසක්‌ ඇති වී තිබිණි.

"ඔව්, සමහර විට එහෙම වෙන්න පුළුවන්. දැන් හොඳ ළමයා වගේ කලබල නො කර ඉන්න කෝ." ඇය ගේ පිළිතුර විය.

òòòòòòòòòòò

ක්‍රි. ව. 1998 දී නිව්යෝක්‌ නුවර, ඉතිහාසයේ කවර දාටත් වඩා සිරි නරඹන්නන් ගේ පාරාදීසයක්‌ විය. ග්ලෝරියා ගේ මාපියෝ ද එම කරුණ දැන සිටි හෙයින්, ඉන් උපරිම ප්‍රයෝජනය ලබාගැනීමට අදහස්‌ කළ හ.

තම බිරිඳ ගේ නියෝගයන්ට අනුකූල ව, "ග්ලෝරියා අනතුරින් මුදාගැනීම" නමින් ඔහු තමා විසින් හඳුන්වාගන්නා ලද දෙයට කාලය කැප කිරීම පිණිස, ජෝර්ඡ් වෙස්‌ටන් තම රාජකාරී කටයුතු, මාසයක පමණ කාලයක්‌ සඳහා ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගත්තේ ය.

සැතපුම් භාගයක්‌ උසැති රුස්‌වෙල්ට්‌ ගොඩනැඟිල්ලට ග්ලෝරියා කැඳවාගෙන යන ලදි. සත්ත්වොද්‍යාන, කෞතුකාගාර, උයන් වතු, මුහුදු වෙරළ, මින් මැදුරු ආදී මෙකී නොකී සැම තැනකට ම ඇය කැඳවාගෙන යනු ලැබිණි.

පොළොවේ සිට සැතපුම් දහයක්‌ තරම් එපිට ගුවනේ, ප්‍රදර්ශන චාරිකාවක යෙදීමට ඇයට අවස්‌ථාව ලැබිණි. අහස තද දම් පැහැයෙන් දිස්‌ විය. තරු පායද්දී, ඈත ésතිජයේ, මීදුම අතරින්, පෘථිවිය දැවැන්ත පාත්‍රයක්‌ මෙන් දිස්‌ විය.

එමෙන් ම, වීදුරුවලින් තැනූ විශේෂ යානයකින්, ගැඹුරු සාගර පතුලේ විස්‌මයජනක ලොවේ සිරි නැරඹීමට ඇයට අවස්‌ථාව ලැබිණි. විවිධ වර්ගයේ මුහුදු ප්‍රාණීහු, ඇය ගේ ඇෙග් ගැවී නො ගෑවී පිහිනා ගිය හ.

ඒ අතර ම, එතරම් විශේෂත්වයක්‌ නොමැති දෙයක්‌ වූවත්, ඇය සුපිරි සාප්පු සංකීර්ණයකට ද කැඳවාගෙන යැමට ද වෙස්‌ටන් මහත්මිය අමතක නො කළා ය.

කෙසේ වූවත්, එම මාසය අවසන් වන විට, ග්ලෝරියා ගේ සිතෙන් රොබී අමතක කර දැමීම සඳහා උපකාරී වේ යෑයි සිතුණු සැම පියවරක්‌ ම, ඇගේ මාපියන් විසින් ගනු ලැබ තිබිණි. එහෙත් එය සාර්ථක වූවා ද යන සැකය ඔවුන් තුළ ඉතිරි ව පැවතිණි.

ග්ලෝරියා කැඳවාගෙන ගිය සැම තැනක දී ම පාහේ ඇයට දැකගන්නට ලැබුණු රොබෝවන් පිළිබඳව ඇය දැඩි උනන්දුවකින් බලා සිටියා ය. ඇය ඉදිරියේ මොන තරම් ප්‍රිය උපදවන දසුනක්‌ පැවතුණත්, ඇගේ නෙත් කොනකින් හෝ රොබෝවන් චලනය වන බව පෙනුණේ නම් ඇය එක වර ම ඒ දෙස හැරී බැලුවා ය.

ග්ලෝරියා ගේ අවධානය, වුවමනාවට වඩා රොබෝවන්ට යොමු වීම වැළැක්‌වීම පිණිස, වෙස්‌ටන් මහත්මිය හැකි සැම විටක ම ඇය අසලින් සිටීමට වග බලාගත්තා ය.

එහෙත් විද්‍යා හා තාක්‌ෂණ කෞතුකාගාරය තුළ දී එහි උච්ච අවස්‌ථාව එළඹිණි. කෞතුකාගාරය මගින් එදින ළමයින් සඳහා විශේෂ වැඩසටහනක්‌ සංවිධානය කර තිබිණි. එය ළමා මනසට ගෝචර වන අන්දමින්, විද්‍යාවේ හාස්‌කම් නිරූපනය කළ ප්‍රදර්ශනයක්‌ විය. වෙස්‌ටන් යුවල එය සැලකුවේ, අනිවාර්යයෙන් ම නැරඹිය යුතු වූ දෙයක්‌ ලෙසිනි.

ඔවුන් අති ප්‍රබල විද්යුත් - චුම්බකයේ හාස්‌කම් ගැන වශී වී බලා සිටිද්දී, ග්ලෝරියා තමන් ළඟ නොමැති බව වෙස්‌ටන් මහත්මියට එක වර ම අවබෝධ විය. මුල දී කලබල වුවත්, පසුව සන්සුන් වී සේවකයන් තිදෙනකු ගේ ද සහාය ලබාගෙන දැරිය සෙවීම ආරම්භ කෙරිණි.

කෙසේ වුව ද, ග්ලෝරියා කිසි අරමුණක්‌ නැති ව, ඉබාගාතේ යන දැරියක්‌ නො වී ය. ඇය ගේ වයසටත් වඩා ඇය අධිෂ්ඨානශීලී විය, ධෛර්යවත් විය, සැම විට ම අරමුණ නිවැරැදි ව හඳුනාගත් දැරියක්‌ විය. තුන්වැනි මහලේ සවි කර තිබූ දැවැන්ත පුවරුවක්‌ ඇය දුටුවා ය.

"කථා කරන රොබෝව නැරඹීම සඳහා මෙතැනින් ඇතුළට ගමන් කරන්න."

පුවරුවේ වූ දැ එකිනෙක ගලපාගෙන කියවා, තම මාපියන්, ඇය ඒ දෙසට කැඳවාගෙන යනු නො ලබන බව දැනගත් පසු, ඇයට සුදුසු යෑයි සිතුණු දේ ඇය කළා ය. තම මවුපියන් ගේ අවධානය තමා දෙස යොමු නො වන තෙක්‌ බලා සිට, ඇය හෙමින් සීරුවේ ඔවුන් ගෙන් ඈත් වී පුවරුවේ සලකුණු කර තිබූ දිශාවට ගමන් කරන්නට වූවා ය.



"කථා කරන රොබෝව" සාර්ථක එකක්‌ නො වූ අතර, තිබුණේ ප්‍රචාරක වටිනාකමක්‌ පමණි. පැයකට වරක්‌, එය ඉදිරියේ එක්‌රැස්‌ වූ පිරිස, එය භාර ව සිටි රොබෝ ඉංජිනේරු මහතා වෙත ප්‍රශ්න ඉදිරිපත් කළ හ. ඔහු විසින් තෝරාගනුන් ලද රොබෝවේ ප්‍රශ්න, ඔහු "කථා කරන රෝබෝව" වෙත යොමු කළේ ය.

එය ඇත්තෙන් ම නීරස දෙයක්‌ විය. එයට යොමු කළ බොහෝ ප්‍රශ්න විසඳීමට, කිසිවකුටත් රොබෝවක පිහිට පැතීමට අවශ්‍ය නො වී ය. පහසුවෙන් එහා මෙහා කළ නොහැකි, වර්ග මීටර් 25ක්‌ පමණ ඉඩක්‌ ගන්නා, කම්බි හා දඟරවලින් සමන්විත වූ රොබෝවක්‌ ඊට කිසිසේත් ම අවශ්‍ය නො වේ. එය නැරඹීමට දෙවතාවක්‌ ආ අය විරල වූ හ. එහෙත් එක්‌ ළාබාල යුවතියක්‌ තෙවැනි වතාවටත් එම අවස්‌ථාව ලබාගැනීමට, ඇගේ වාරය එනතෙක්‌ එහි වූ අසුනක හිඳගෙන සිටියා ය. ග්ලෝරියා එතැනට පැමිණෙන විට එහි සිටියේ එම යුවතිය පමණි.

ග්ලෝරියා, ඈ දෙස බැලුවේ නැත. ඇය ගේ අවධානය නිතැතින් ම යොමු වූයේ රොබෝව වෙත ය. එක්‌ අතකින් ඇයට එය අදහාගත නොහැක්‌කකි. ඇය දැක තිබූ අන් සියලු රොබෝවන්ට වඩා මෙය වෙනස්‌ විය.

මඳක්‌ සැකෙන් යුතු ව පරෙස්‌සමින් ඇය කටහඩ අවදි කළා ය.

"මට කරුණාකරලා කියන්න, මිස්‌ටර් රොබෝ, සර් "කථා කරන රොබෝව" කියලා කියන්නේ ඔයාට ද කියලා."

ඇය හරිහැටි දැන නො සිටි මුත් ඇත්තට ම කතා කරන රොබෝවක්‌ සමඟ, ආචාර සම්පන්න බවකින් යුතු ව කථා කළ යුතු යෑයි ඇය සිතුවා ය.

රොබෝවේ යාන්ත්‍රික කොටස්‌වල ක්‍රියාකාරීත්වය නිසා පැනනැගුණු හඩත් සමඟ ම, නිසි උච්චාරණයක්‌ හෝ ස්‌වරයක්‌ නොමැති වූ හඩක්‌ නික්‌මිණි.

"මම- තමයි - කථා කරන - රොබෝව"

ග්ලෝරියා ඔහු දෙස බලා සිටියේ කණගාටුදායක හැඟීමකිනි. ඇත්ත වශයෙන් ම රොබෝව කථා කළත්, එහි හඩ පිට වූයේ ඇතුළත යම්කිසි ස්‌ථානයකිනි. මුහුණක්‌ වශයෙන් සැලකිය හැකි තැනක්‌ එහි නො වී ය.

"මට උදව්වක්‌ කරන්න පුළුවන් ද මිස්‌ටර් රොබෝ, සර්?" ඇය ඇසුවා ය.

"කථා කරන රොබෝව" තනා තිබුණේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට හැකි ආකාරයකට වූ නිසාත්, පිළිතුරු දිය හැකි ආකාරයේ ප්‍රශ්න පමණක්‌ ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබූ නිසාත්, රොබෝවට තම පිළිතුරු දීමේ හැකියාව සම්බන්ධයෙන් සැකයක්‌ නො වී ය. තම හැකියාව ගැන සෑහීමකට පත් වී සිටි නිසා එය ඉක්‌මනින් ම ප්‍රතිචාරයක්‌ දැක්‌වී ය.

"මට - පුළුවන් - උදව් - කරන්න."

"ස්‌තුතියි, මිස්‌ටර් රොබෝ, සර්. ඔයා දැක්‌ක ද රොබීව?"

"කවුද - රොබී - කියලා - කියන්නේ?"

"එයා රොබෝවක්‌, මිස්‌ටර් රොබෝ, සර්. එයා මේ තරම් විතර උසයි, ඊටත් වැඩිය ටිකක්‌ උසයි." ඇය ඇඟිලි තුඩුවලින් ඉස්‌සී පෙන්නුවා ය.

"එයාට ඔළුවක්‌ තියෙනවා. මම කිව්වේ, ඔයාට තිබුණේ නැති වුණත් එයාට තිබුණා කියලා, මිස්‌ටර් රොබෝ, සර්."

"රොබෝවක්‌?"

"ඔව් මිස්‌ටර් රොබෝ, සර්. ඔයා වගේ ම රොබෝවක්‌. කතා කරන්න බැරි එක විතරයි වෙනස. හැඩයෙනුත් එයා ඇත්ත කෙනෙක්‌ වගේ මයි."

"මම - වගේ - රොබෝවක්‌?"

"ඔව්, මිස්‌ටර් රොබෝ, සර්."

ඊට පිළිතුරු ලෙස ලැබුණේ අපැහැදිලි, තේරුම්ගත නොහැකි ගත නොහැකි වචන පෙළක්‌ හා වරින් වර ඇසුණු නො ගැලපෙන හඩක්‌ පමණි. තමා තනි පුද්ගලයකු ලෙස නො ව, සමූහයක්‌ අතරින් තෝරාගත් එක්‌ අයකු ලෙස සලකනු ලැබූ කල එය යන්ත්‍රයට දරාගත නොහැකි වූවා වන්නට ඇත. යන්ත්‍රයේ දඟර කිහිපයක්‌ පිළිස්‌සී ගිය අතර, අනතුරු ඇඟවීමේ හඩ නික්‌මිණි.

ග්ලෝරියා යන්ත්‍රයෙන් පිළිතුරක්‌ නිකුත් වන තෙක්‌ නොඉසිලිවන්ත ව බලා සිටියා ය.

"අන්න එයා ඉන්නවා" ඇයට පිටුපසින් ඇසුණු හඩ, තම මව ගේ කටහඩ ලෙස ඇය හඳුනාගත්තා ය.

"නරක ළමයා මොනව ද මෙතන කරන්නේ?" වෙස්‌ටන් මහත්මිය ගේ කාංසාව, කෝපය බවට පත් වෙමින් තිබිණි.

"හිතුවේ නැද්ද, ඔයා ගේ අම්මයි තාත්තයි කොයි තරම් බය වෙයි ද කියලා, ඇයි ඔයා පැනලා ගියේ?"

රොබෝ ඉංජිනේරු මහතා ද හදිසියේ ම පැමිණි අතර කොණ්‌ඩය ද විසුරුවා දමමින් ඔහු කෑගසන්නට වූයේ එතැනට රැස්‌ වෙමින් සිටි පිරිස අතරින් කවරකු යන්ත්‍රය අතපත ගෑවා දැයි විමසමිනි.

"කාට වත් කියවන්න බැරි ද, මෙතන ගහලා තියෙන දැන්වීම? උපදේශකයකු නැති ව මෙතනට එන්න තහනම්" ඔහු කෑගැසී ය.

පැවැති ගාලගෝට්‌ටිය නිසා, ග්ලෝරියාට උස්‌ හඩින් කෑගසමින් කථා කරන්නට සිදු විණි.

"අනේ අම්මේ, මම කථා කරන රොබෝව බලන්නයි ආවේ. දෙන්න ම රොබෝලා හින්දා මම හිතුවා රොබී ඉන්න තැන එයා දන්නවා ඇති කියලා."

රොබී ගැන මතකය, යළි ඇවිස්‌සීම නිසා, ඇය නැවතත් කදුළු වගුරවන්නට විය.

"රොබීaව හොයගන්න ඕනේ, අම්මේ. මට කොහොම හරි රොබීව හොයාගන්න ඕනේ."

"දෙවියනේ, මේක නම් මට දරාගන්න බැහැ. යමු ජෝර්ඡ්, ගෙදර." වෙස්‌ටන් මහත්මිය ආයාසයෙන් යුතු ව හැඟීම් මැඩපවත්වාගෙන කීවා ය.

òòòòòò

එදින සැඳෑවේ ජෝර්ඡ් වෙස්‌ටන් පැය කිහිපයකට නිවසින් බැහැර ව සිටියේ ය. පසු දා උදයේ, ඔහු තම බිරිඳ හමු වීමට පැමිණියේ තෘප්තිමත් වූ හැඟීමකින් යුතු බවක්‌ පෙන්නුම් කරමිනි.

"ග්‍රේස්‌, මට පොඩි අදහසක්‌ ආවා."

"මොකක්‌ ගැන ද?" ඇය ඇසුවේ ඒ ගැන උනන්දුවක්‌ නොමැති බවක්‌ දනවමිනි.

"ග්ලෝරියා ගැන."

"මොකද, අර රොබෝව ආයෙත් ගෙන්න ගන්න යෝජනා කරනවා ද?"

"නැහැ එහෙම දේකට නෙවෙයි."

"හොඳයි, එහෙනම් කියන්න කෝ බලන්න. මම කරපු දේවල්වලිනුත් වැඩි සුගතියක්‌ වුණේ නෑ නේ."

"මම කල්පනා කළේ මෙහෙමයි. ග්ලෝරියා හැම වේලාවෙ ම රොබීට සැලකුවේ, පුද්ගලයකු හැටියට මිසක්‌ යන්ත්‍රයක්‌ හැටියට නෙවෙයි. ඉතින් දුවට එයාට අමතක කරන්න බැරි එක පුදුමයක්‌ නෙවෙයි. ඉතින් අපි එයාට ඒත්තු ගැන්නුවොත් රොබී කියලා කියන්නේ යකඩ කෑලි, කම්බි වගේ දේවල්වලින් හදපු, විදුලිය ගමන් කරන කොට විතරක්‌ "පණ" උපදින දෙයක්‌ කියලා, එයාට වැඩි කාලයක්‌ යන්නට කලින් ම, කරුණු අවබෝධ වේ වි. ඒක තමයි මේ ප්‍රශ්නයේ මනෝවිද්‍යාත්මක පැත්ත."

"ඔයා කොහොම ද ඒක කරන්න හිතන් ඉන්නේ?"

"ඒක සුළු දෙයක්‌. ඊයේ රෑ මම කොහේ ගියා කියලා ද ඔයා හිතන්නේ? මම ඇමෙරිකානු රොබෝ හා යාන්ත්‍රික මිනිස්‌ සමාගමේ වැඩ කරන රොබට්‌සන් මුණ ගැහෙන්න ගියා. මට එයාව පොලඹවාගන්න පුළුවන් වුණා හෙට එයාගෙ සමාගමේ සම්පූර්ණ චාරිකාවකට. අපි තුන් දෙනා හෙට එහෙ ගියාට පස්‌සේ, ප්‍රශ්නය ඉවරයි. රොබී පණ නැති දෙයක්‌ බව, අපි එයාට තදින් ම හිතට කාවද්දන්න ඕනේ."

වෙස්‌ටන් මහත්මිය ගේ දැස්‌ ක්‍රමයෙන් විශාල වී අමුතු දිප්තිමත් බවකින් බබළන්නට විය.

"ඒක නම් හොඳ අදහසක්‌, ජෝර්ඡ්"

"මගේ කොයි අදහසත් එහෙම නේ."

ජෝර්ඡ් වෙස්‌ටන් කීවේ ය.

òòòòòò

රොබට්‌සන් හෘද සාක්‌ෂියට එකඟ ව කටයුතු කරන, අවංක කළමනාකරුවෙක්‌ විය. ඒ අතර ම ඔහු තරමක්‌ කටකාර පුද්ගලයෙක්‌ ද විය. ඔහු ගේ එම ලක්‌ෂණයන් දෙක එක්‌තැන් වීම නිසා ඔහු ඉතා හොඳින් කරුණු පැහැදිලි කරමින්, සැම පියවරක්‌ පාසා ම වුවමනාවටත් වඩා විස්‌තර කළේ ය. කෙසේ වුව ද එය වෙස්‌ටන් මහත්මියට වෙහෙසකර වූයේ නැත. කිහිප අවස්‌ථාවක දී ම ඇය එය ග්ලෝරියාටත් තේරෙන පරිදි සරල බසින් නැවතත් විස්‌තර කරන ලෙස ඉල්ලා සිටියා ය. තම විස්‌තර කිරීමේ හැකියාව අගය කොට සැලකීම නිසා ඔහු වඩාත් උනන්දුවෙන් සංවාදශීලී ව කටුයතු කළේ ය.

ජෝර්ඡ් වෙස්‌ටන් පමණක්‌, ක්‍රමයෙන් වැඩි වන නොඉවසිලිමත් බවකින් පසු විය.

"රොබට්‌ සමා වෙන්න බාධා කළාට" ප්‍රභාවිද්යුත් කෝෂය ගැන විස්‌තර කරමින් සිටිය දී ජෝර්ඡ් ඔහු ගේ කථාවට බාධා කළේ ය.

"ඔබ කිව්වා නේ ද මෙතන රොබෝවල සේවය විතරක්‌ ලබාගන්න අංශයක්‌ තියෙනවා කියලා?"

"මොකක්‌ ද? ආ, ඔව් ඔව්." ඔහු වෙස්‌ටන් මහත්මිය දෙස බලා සිනාසෙමින් කීවේ ය.

"රොබෝවරුන් හදන තවත් රොබෝවරු. කොහොම වුණත් අපි ඒක එක දිගට කරන්නේ නැහැ. ඒකට එක හේතුවක්‌ තමයි අපේ වෘත්තීය සමිතිවලින් ඒකට ඉඩ නො දෙන එක."

"එහෙනම් අපි කර්මාන්තශාලාවේ ඒ අංශයට ගිහින් බලමු, නේ ද? මම හිතන්නේ ඒක අපට හුඟක්‌ ප්‍රයෝජනවත් වේ වි කියලා."

"ඔව් එක ඇත්ත. එන්න මාත් එක්‌ක."

දිග පටු ආලින්දයක්‌ ඔස්‌සේ ඔවුන් තිදෙනා කැඳවාගෙන ගමන් කරද්දී, ඔහු සාපේක්‌ෂ වශයෙන් නිශ්ශබ්ද ව පසු විය. පඩිපෙළක්‌ බැස, යකඩ ගැටෙන හඩ ඇසෙන, විශාල ආලෝකවත් කාමරයකට ඔවුන් ඇතුළු වුණ පසුව නැවතත් ඔහු දොඩමළු වන්නට විය.

"ඔන්න අපි නියම තැනට ආවා. රොබෝවරු පමණයි" ඔහු ගේ ස්‌වරයේ යම් සාඩම්බර බවක්‌ විය.

"මේ රොබෝලව බලාගන්න, මිනිසුන් පස්‌ දෙනෙක්‌ යොදවලා තියනවා. ඒ වුණත් ඒ අය හැම වේලාවකට මෙතන ඉන්නෙත් නැහැ. අවුරුදු පහකට කලින් ඉඳලා, ඒ කියන්නේ අපි මේ ව්‍යාපෘතිය පටන් ගත්ත දා ඉඳන් තවම එක ම අනතුරක්‌ වත් සිදු වෙලා නැහැ. ඇත්තෙන් ම මෙතැන රැස්‌ වෙලා ඉන්න රොබෝවරු සාපේක්‌ෂව සරලයි, ඒ වුණත්...."

කළමනාකරු ගේ කටහඩ, මේ වන විටත් ග්ලෝරියා ගේ සවනින් ඈත් වී ගොස්‌ තිබුණු අතර, ඇයට එය ඇසුණේ මිමිණීමක්‌ ලෙසින් පමණි. රොබෝවන්, වරින් වර ඇගේ නෙත ගැටුණත්, මුළු චාරිකාව ම ඇයට නීරස, තේරුමක්‌ නැති එකක්‌ විය. රොබීට යන්තමින් හෝ සමාන රොබෝවක්‌ වත් ඇයට හමු නො වුණු අතර, අනෙක්‌ රොබෝවරුන් දෙස ඇය බැලුවේ අවඥවෙනි.

ඇය දැන් ඉන්නා කාමරයේ මිනිසුන් කිසිවකු නො වූ බව ඇයට පෙනී ගියේ ය. කාමරයේ තරමක්‌ ඇතුළතින් වූ වට මේසයක්‌ අසල රැස්‌ ව සිටි කඩිසර ව වැඩ කරන රොබෝවන් හයක්‌ හෝ හතක්‌ ඇයට දක්‌නට ලැබිණි. එහෙත් ඇයට එක්‌ වර ම ඇගේ දෙනෙත් අදහාගත නොහැකි විය. එම කාමරය විශාල එකක්‌ වූ නිසා ඇයට හරියට ම දැකගැනීමට නොහැකි වුවත්, ඉන් එක්‌ රොබෝවක්‌ හරියට ම රොබී ගේ හැඩරුවට සමාන විය. "ඔව් ඒ රොබී තමයි".

"රොබී" ඇය උස්‌ හඩින් කළ කෑගැසීම නිසා මේසය වටා රැස්‌ වී සිටි රොබෝවන් අතරින් එක්‌ අයකු කලබල වීමෙන්, ඔහු අල්ලාගෙන සිටි උපකරණ්‍ය ගිලිහී වැටිණි.

ග්ලෝරියා සතුටින් පිනා ගොස්‌ තිබිණි. ඇගේ මවුපියන්ට ඇය වළකාලීමට හැකි වීමට පෙර ම ඇය වැටෙන් රිංගා අඩි කීපයක්‌ පහළ වූ පොළොව මතට පැන රොබී වෙත දිව ගියේ දැත් විහිදාගෙන කොණ්‌ඩය විසුරුවා දමමිනි.

එහෙත් බියෙන් ත්‍රස්‌ත වී ගල්ගැසී බලා සිටි වැඩිහිටියන් තිදෙනා කලබල වී සිටි දැරිය නොදුටු යමක්‌ දුට හ. තම ගමන් මාර්ගයට අවතීර්ණ වෙමින් තිබූ බර පටවාගත් දැවැන්ත ට්‍රැක්‌ටරයක්‌ ඔවුන්ට පෙනිණි.

වෙස්‌ටන්ට සිහි එළවාගැනීමට ගත වූයේ තත්පරයකටත් වඩා අඩු කාලයකි. එහෙත් එම නිමේෂය අතිශය තීරණාත්මක එකක්‌ විය. ග්ලෝරියා පසු කර ගොස්‌ ඇය අල්ලාගැනීමට දැන් ප්‍රමාද වැඩි ය. වෙස්‌ටන් වහා ම වැටෙන් ඇතුළට පැනගත්ත ද, ඉන් කිසි ම පලක්‌ නො වන බව හොඳින් ම පැහැදිලි විය. රොබට්‌සන් මහතා රොබෝවරුන් බලාගැනීමට සිටි මිනිසුන්ට ට්‍රැක්‌ටරය නවත්වන ලෙස සංඥ කර කීවත්, ඔවුන් මනුෂ්‍යයන් වූ නිසා එය පිළිපැදීමට යම් කාලයක්‌ ගත විය.

එහෙත් ප්‍රමාදයකින් තොර ව ඉතා ම නිරවද්‍ය ලෙස ක්‍රියා කිරීමට සමත් වූයේ රොබී පමණි.

රොබී තම දිගු ලෝහමය පාද තබා තමා හා තම කුඩා ස්‌වාමිදුව අතර දුර ක්‍රමයෙන් අඩු කරලමින් ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට දිව ආවේ ය. සියල්ල නිමේෂයකින් සිදු විය. දිගු කළ ලෝහමය හස්‌තයකින් ග්ලෝරියා රැගෙන තම ගමන් වේගය බිඳකුඳු අඩු නො කොට රොබී ගමන් කළේ ය.

සිදු වන දෙය ගැන වෙස්‌ටන්ට හරි අවබෝධයක්‌ නො වී ය. එහෙත් රොබී තමා පසු කරගෙන වේගයෙන් ගමන් කොට නිශ්චලතාවට පත් වූ බව ඔහුට දැනිණි. ඉන් තත්පර භාගයකට පසු ට්‍රැක්‌ටරය ග්ලෝරියා සිටි මාර්ගය හරහා ගමන් කළ අතර තවත් අඩි දහයක්‌ පමණ ගමන් කොට නිශ්චලතාවට පත් විය.

ග්ලෝරියා නැවතත් සාමාන්‍ය පරිදි හුස්‌ම ගත්තා ය. මවුපියන් ඇයව සිප වැළඳගත්තාට පසු ඇය රොබී වෙත හැරුණා ය. ඇය සිටියේ තම රොබෝ මිතුරා ආපසු ලැබීම හැර අන් කිසිවක්‌ සිදු නො වූවා පරිද්දෙනි.

වෙස්‌ටන් මහත්මියට එය සැනසුමට කරුණක්‌ වූ මුත් ඉන් පසුව එය දැඩි සැකයක්‌ බවට පරිවර්තනය වී තිබිණි.

"මේක ඔයා සැලසුම් කරලා කරපු දෙයක්‌, එහෙම නේ ද?" අය තම සැමියා දෙසට හැරී දැඩි ස්‌වරයකින් ඇසුවා ය.

"ජෝර්ඡ් වෙස්‌ටන්, ලේන්සුව ගෙන තම නළල පිස දා ගත්තේ ය. ඔහු ගේ අත වෙව්ලන්නට වූ අතර, දෙතොල්වල දුර්වල, ආයාසකර සිනාවක්‌ මැවී තිබිණි."

"රොබීව සැලසුම් කරලා තියෙන්නේ ඉංජිනේරු වැඩවලට වත්, ඉදිකිරීම් වැඩවලට වත් නෙවෙයි. ඒ නිසා එයාව මෙතැනට අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔයා එයාව මෙතන තියලා තිබුණේ, ග්ලෝරියාට හොයාගන්න පුළුවන් වෙන්න හිතාමතා මයි. ඔයා දන්නවා ඔයා ඒක කළා කියලා."

"ඔව්, මම එහෙම කළා" වෙස්‌ටන් පැවසී ය.

"ඒත් ග්‍රේස්‌ මම කොහොම ද දන්නේ, නැවත හමු වීම මේ තරම් ප්‍රචණ්‌ඩ විදිහට සිදු වේ වි කියලා? රොබී දුව ගේ ජීවිතය බේරුවා. ඔයාට එක්‌ පිළිගන්න වෙනවා. ඔයාට බැහැ ආයෙත් සැරයක්‌ රොබීව යවන්න."

වෙස්‌ටන් මහත්මිය, ඒ ගැන සිතා බලන්නට වූවා ය. ඇය ග්ලෝරියා හා රොබී දෙසට හැරී, ඔවුන් දෙස මද වේලාවක්‌ බලා සිටියා ය. ග්ලෝරියා, රොබී ගේ ගෙළ වටා අත යවා දැඩි කොට අල්වාගෙන යමක්‌ සිහින් හඩින් මුමුණමින් සිටියා ය. අඟල් දෙකක විෂ්කම්භයෙන් යුතු යකඩයක්‌ නවා, කඹයක්‌ මෙන් ඇඹරීමට තරම් ශක්‌තියක්‌ ඇති රොබී ගේ ක්‍රෝම් ආලේපිත ලෝහමය අත් දැරිය ගේ සිරුර වටා ලිහිල් ව වෙළී තිබිණි. ඔහු ගේ දැස්‌ තද රතු පැහැයෙන් දිදුලන්නට විය.

"ඔව්" වෙස්‌ටන් මහත්මිය බොහෝ වේලාවකට පසු පැවසුවා ය.

"මම හිතන්නේ එයාට හැම දා ම අපි ළඟ ඉන්න පුළුවන්. එයා දිරලා යනකම් ම අපිත් එක්‌ක ඉන්න පුළුවන්"

                            නිමි.

අයිසෙක් ඇසිමෝව්ගේ' "රොබී" නම් විද්‍යා ප්‍රබන්ධය ඇසුරෙනි.
අනුවාදය
අමල් වික්‍රමසූරිය

(මෙය 1994 ජූලි 18 වැනි දින සිට සැප්තැම්බර් 14 වැනි දින දක්‌වා විදුසර පුවත්පතේ පළ වූ ප්‍රබන්ධ කතාවකි. විද්‍යා ප්‍රබන්ධ රචනය සඳහා උනන්දු වන නවකයන්ට මඟපෙන්වීමක්‌ ලෙස එකල පළ වූ ජනප්‍රිය ප්‍රබන්ධ කතා මෙසේ විටින් විට නැවත පළ කෙරෙයි.)











No comments:

Post a Comment