Friday, April 17, 2020
බබලන්නෝ
සෝවියට් තානාපති කාර්යාලය දුරකථන මාර්ගයේ රැඳී ඉන්නවයි කියල දුරකථන හුවමාරු පොළෙන් කියපු වෙලාවෙ මගේ හිතට ආපු පළවෙනි අදහස උනේ:
"හොඳයි - තවත් වැඩක්!"
ඒත් ගන්චරොෆ් ගේ කටහඬ ඇහෙද්දි ම, මොකක් නමුත් අවුලක් වෙලා තියනවයි කියල මට තේරුම් ගියා.
"ක්ලවුස්? මේ මිකායිල්. මේ දැන්ම ම මෙහාට එන්න පුළුවන් ද? මේක ගොඩක් හදිස්සියි, ඒ වගේ ම මට මේ ගැන දුරකථනයෙන් කියන්න බැහැ."
අපේ පැත්තෙන් මොකක් හරි වැරැද්දක් වෙලා නං, කියන්න ඕනි කරන කරුණු කාරණා හිතින් පෙළගස්සමින් ගිය මම, තානාපති කාර්යාලයට යනකම් ම හිටියෙ හිතේ කරදරෙන්. ඒත් මට එහෙම වෙන්න පුළුවන් මොන ම වැරැද්දක් වත් හිතාගන්න බැරි උනා. ඉවර කරපු නැති රුසියානුවන් ගේ කොන්තරාත්තු මොනා වත් මේ වෙන කොට අපිට තිබ්බේ නැහැ. අන්තිම වැඩේ අපි සම්පූර්ණ කරේ දැනට මාස හයකට උඩ දි. ඒක හරි වෙලාවට බාර දුන්න විතරක් නෙවෙයි ඒ අය සම්පූර්ණයෙන් ම ඒ ගැන සෑහීමටත් පත් උනා.
හැබැයි මට ඉක්මනට ම දැනගන්න ලැබුණ විදිහට, ඒ අය වැඩේ ගැන දැන් සෑහීමකට පත් වෙන්නෙ නෑ.
වෙළෙඳ කටයුතු සම්බන්ධීකරණ නිලධාරී මිකායිල් ගන්චරොෆ් මගේ පරණ මිත්‍රයෙක්. ඔහු මේ ගැන දන්න හැම දේ ම මට කිව්ව. ඒත් එහෙමටයි කියල ලොකු විස්තරයක් ඔහු දැනගෙන හිටියෙ නැහැ.
"අපිට මේ දැන් ලංකාවෙන් හදිසි කේබල් පණිවිඩයක් ලැබුණ. ඒ ගොල්ලන්ට ඉක්මනට ම ඔයාව එතනට ගෙන්නගන්න ඕනි වෙලා. ජලතාප ව්‍යාපෘතියේ ලොකු ප්‍රශ්නයක්."
"මොන විදිහෙ ප්‍රශ්නයක් ද?" මම ඇහුව. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ගැඹුරු පැත්තේ වෙන්න ඕනි කියල ඒ වෙන කොටත් මට හිතිලයි තිබ්බේ. මොකද කියනව නම් ව්‍යාපෘතියේ අපිට අදාළ උන එක ම කොටස ඒක නිසා. ගොඩබිම වැඩ කටයුතු හැම එකක් ම කළේ රුසියානුවො. ඒත්, ඉන්දියන් සාගරයේ අඩි තුන් දාහක් ගැඹුරින් අර ජාලය සවි කරද්දී අපේ උදව් ලබාගන්න ඒගොල්ලන්ට සිද්ධ උනා. මේ වගේ වැඩවල දි අපේ ආදර්ශ පාඨය කිට්ටුවට වත් එන්න පුළුවන් වෙනත් සමාගමක් ලෝකෙ ඇත්තෙ නැහැ.
'ඕනෑ ම ගැඹුරක, ඕනෑ ම වැඩක්'
"මම දන්නෙ මෙච්චරයි... සම්පූර්ණ බිඳවැටීමක් සිද්ධ වෙලා කියල එතන ඉංජිනේරුවෝ වාර්තා කරනව...තව සති තුනකින් ලංකාවේ අගමැතිතුමා බලාගාරේ විවෘත කරන්න ඉන්නෙ... ඒ වෙන කොට ඒක වැඩ කරේ නැත්නං මොස්කව්වල අය ගෙ හිත් ගොඩක් ම, ගොඩාක් ම නරක් වෙයි..." ගන්චරොෆ් කිව්ව.
අපේ කොන්තරාත්තුවෙ දඬුවම් වගන්ති ටික මං ඉක්මනින් මතක් කරල බැලුව. සේවාලාභියා නැවත බාරගැනීමේ සහතිකය අත්සන් කරල, වැඩේ හරි විදිහට කරල තියනවයි කියල පිළිඅරගෙන තිබුණ නිසා, පේන විදිහට අපේ සමාගමට ප්‍රශ්නයක් නැහැ. කොහොම උනත් ඒක ඒ තරං සරල දෙයක් නෙවෙයි. නො සලකා හැරීම සිද්ධ උනේ අපේ පැත්තෙන් කියල ඔප්පු උනා උනත් නීතිමය වශයෙන් අපි ඉන්නේ ආරක්ෂාකාරී තැනක. ඒත් ඒක අපේ ව්‍යාපාරයට නරක විදිහට බලපානව. 'ටි්රන්කෝ ඩීප්' ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධීක්ෂක වෙලා හිටියෙ මම නිසා, ඒක පුද්ගලිකව මට ඊටත් වඩා නරක විදිහට බලපානව.
කරුණාකරල මට 'කිමිදුම්කාරයෙක්' කියල කියන්න එපා. ඒ නමට මං කැමති නැහැ. මම සාගර ඉංජිනේරුවෙක්. ගුවන් නැවියෙක් පැරෂුටයක් පාවිච්චි කරන තරමට ම මමත් කිමිදුම් උපකරණ පාවිච්චි කරනව. මගේ වැඩවලින් වැඩි හරියක් කරන්නෙ රූපවාහිනී තිර සහ දුරස්ථ පාලක රොබෝ යන්ත්‍ර පාවිච්චි කරල. මට කිමිදෙන්න සිද්ධ උනා ම මම ඒකට බාහිර හැසිරවීම් උපකරණ තියන කුඩා සබ්මැරීනයක් පාවිච්චි කරනව. ඒකෙ පිටතින් තියන අඬු-බඩු නිසා අපි ඒකට කියන්නේ 'පොකිරිස්සා' කියල. ඒකෙ සම්මත මාදිලියට අඩි පන් දාහක් ගැඹුරට කිමිදෙන්න පුළුවන්. ඊට අමතරව මරියානා ආගාධය පතුලේ වැඩ කරන්න පුළුවන් විශේෂ මාදිලිත් තියනව. මම පුද්ගලිකව එතනට ගිහින් නැහැ. ඒත් එතනට යන්න ඔබට උනන්දුවක් තියනව නං මං බොහොම කැමැත්තෙන් ඒකට යන වියහියදම් සහ අදාළ වන කොන්දේසි ගැන කියල දෙන්නම්. දළ ඇස්තමේන්තුවක් ගත්තොතින්, පහළට යන හැම අඩියකට ම ඩොලර් එකකුත්, කෙරෙන වැඩේට පැයකට ඩොලර් දාහකුත් වැය කරන්න ඔබට සිද්ධ වේ වි.
රුසියානුවන්ට මේ වැඩේ ගොඩක් හදිස්සියි කියල මට තේරුම් ගියේ, සූරිච්වල මං වෙනුවෙන් ජෙට් එකක් ලෑස්ති කරලයි තියෙන්නේ, තව පැය දෙකක් ඇතුළත මට ගුවන් තොටුපොළට යන්න පුළුවන් ද කියල මිකායිල් මගෙන් ඇහැව්වමයි.
"මේ බලන්න..." මම කිව්ව. "...උපකරණ නැතුව මට මොකවත් කරන්න බැහැ. සෝදිසි කිරීමක් කරන්න ඕනි කරන උපකරණත් ටොන් ගානක් බරයි. ඇරත් ඒ ඔක්කොම දැන් තියෙන්නෙ ස්පෙට්සියාවෙ."
"මං දන්නව..." මිකායිල් රළු විදිහට උත්තර දුන්න. "...අපි එහාටත් ජෙට් එකක් යවන්නං. ඕන කරන්නෙ මොනව ද කියල තීරණය කරගත්ත ගමන් ම ලංකාවේ ඉඳල කේබල් පණිවිඩයක් එවන්න. පැය දොළහක් ඇතුළත ඒ දේවල් වැඩ බිමට ලැබෙයි. ඒත් කරුණාකරල මේ ගැන වෙන කාට වත් කියන්න යන්න එපා. අපේ ප්‍රශ්න අපිට ම සීමා කරල තියාගන්න අපි කැමතියි."
මේක මගෙත් ප්‍රශ්නයක් නිසා මම ඒ වැඩපිළිවෙළට එකග උනා.
මම කාර්යාලයෙන් පිට වෙද්දී, මිකායිල් බිත්ති කැලැන්ඩරේ පෙන්නල, "තව සති තුනයි" කියල කියන ගමං ඇගිල්ලෙන් තමන් ගෙ බෙල්ලෙ ඉරක් ඇඳල පෙන්නුව. ඔහු අදහස් කරන්නෙ ඔහු ගෙ බෙල්ල ගැන නෙවෙයි කියන්න මං දැනගෙන හිටිය.
පැය දෙකකට පස්සෙ මං හිටියෙ ඇල්ප්ස් කඳුකරේට උඩින් පියාසර කරමින්. මගේ පවුලේ අයට රේඩියෝ මගින් සමුගැනීමේ පණිවිඩයක් යවන ගමන් මං කල්පනා කරේ, විචාර බුද්ධිය තියන අනිත් ස්විස් ජාතිකයෝ වගේ මාත් බැංකුකරුවෙක් උනේ නැත්තේ හරි, අත් ඔරලෝසු ව්‍යාපාරයට සම්බන්ධ උනේ නැත්තේ හරි ඇයි කියලයි. ඒක තනිකර ම පිකාඩ් සහ හෑන්ස් කෙලර් ගේ වැරැද්ද. මං මට ම තරහින් කියාගත්ත. ලෝකෙ මෙච්චර රටවල් තියෙද්දි ඒගොල්ලන්ට ස්විට්සර්ලන්තෙ ම මේ ගැඹුරු මුහුදත් එක්ක ඔට්ටු වෙන සම්ප්රදාය පටන්ගන්න ඕනි උනේ ඇයි? පණිවිඩේ යවල ඉවර වෙලා මම ටිකක් නිදාගන්න හරිබරි ගැහුණ. ඉස්සරහට එන දවස්වල දී ඇති තරං නින්දක් ලබාගන්න වෙන එකක් නැහැයි කියල මං දැනං හිටිය.
පාන්දර පහු උන ගමන් ම වගේ අපි ත්රිකුණාමලේට ගොඩබැස්සා. භූගෝලීය පිහිටීම මට කවදා වත් හරියට ම ප්‍රගුණ කරගන්න බැරි උන, තුඩු, දූපත්, එකිනෙකට සම්බන්ධ ජල මාර්ග සහ ලෝකේ තියෙන සියලු ම නාවික හමුදාවන් රඳවල තියාගන්න පුළුවන් තරමේ විශාල ගංගාධරයන් ගෙන් සමන්විත අති විශාල වගේ ම සංකීර්ණ වරාය මට පෙනුණේ එක ම අවුල් ජාලාවක් වගේ. සුදු පාට ලොකු පාලන ගොඩනැගිල්ල තරමක් විචිත්‍ර ගෘහ නිර්මාණ ශෛලියකට අනුව, ඉන්දියන් සාගරයට පිටුපාන ආකරයට, තුඩුවක ගොඩනංවල තියනව දැකගන්න පුළුවන් උනා.
වැඩබිම සම්පූර්ණයෙන් ම වගේ ලොකු ප්‍රචාරණ ගුණ්ඩුවක්. ඒත් මං රුසියානුවෙක් උනා නං මං ඒකට කියනව ඇත්තේ, "මහජන සබඳතා වැඩිදියුණු කරගැනීම" කියල.
මං මගේ ගනුදෙනුකරුවන්ට දොස් කියනව එහෙම නෙවෙයි. ඒ අයට මේ ව්‍යාපෘතිය ගැන ආඩම්බර වෙන්න ලොකු හේතුවක් තිබ්බ. සාගරයේ එක්රැස් වෙලා තියන තාප ශක්තිය ප්‍රයෝජනයට ගන්න දැනට දරල තියෙන දැවැන්ත ම වගේ ම ගොඩක් දෙනා බලාපොරොත්තු තියාගෙන ඉන්න උත්සාහය තමයි මේ. හැබැයි මේක මේ වගේ දෙයක් කරන්න හදපු පළවෙනි වතාව නෙවෙයි. එක් දහස් නව සිය තිස් ගණන්වල ප්‍රංශ විද්‍යාඥයෙක් වෙච්ච ජෝර්ඡ් ක්ලෝඩ් මේ දේට අසාර්ථක උත්සාහයක් දරල තියනව. එක් දාස් නව සිය පනස් ගණන්වල අප්‍රිකාවේ බටහිර වෙරළෙ අබිජාන්වල ඊට වඩා ලොකුවට කරපු ව්‍යාපෘතියත් අසාර්ථක උනා.
මේ හැම ව්‍යාපෘතියක් ම ප්‍රයෝජනයට ගත්තේ එක ම පුදුමාකාර සංසිද්ධියක්. නිවර්තන කලාපෙ දි උනත් හැතැක්මක් ගැඹුරෙ දි මුහුදේ තියෙන්නෙ අයිස් මිදෙන උෂ්ණත්වයට කිට්ටු උෂ්ණත්වයක්. ජලය ටොන් බිලියන ගානක් සැලකිල්ලට ගත්ත ම මේ උෂ්ණත්ව වෙනස අති විශාල ශක්ති ප්‍රමාණයක් සහ බලශක්ති අර්බුදයෙන් පීඩා විඳින රටවල්වල ඉංජිනේරුවන්ට ඉස්තරම් අභියෝගයක් සපයනව.
ක්ලෝඩ් සහ ඔහු ගේ අනුප්රාප්තිකයන් මේ ශක්තිය ලබාගන්න උත්සහ කරේ අඩු පීඩන වාෂ්ප එන්ජින් පාවිච්චි කරලා. රුසියානුවෝ මේකට පාවිච්චි කරල තිබ්බේ ඊට වඩා සරල සහ සෘජු ක්‍රමවේදයක්.
එක අග්‍රයක් රත් කරල අනෙත් අග්‍රය සිසිල් කරොත් ගොඩක් ද්‍රව්‍ය තුළින් විදුලි දහරාවන් ගලා යනවයි කියන කාරණාව අපි අවුරුදු සීයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ දැනගෙන හිටිය දෙයක්. එක් දාස් නව සිය හතළිස් ගණන්වල ඉඳල රුසියානු විද්‍යාඥයො මේ "තාප විද්‍යුත් ආචරණය" ප්‍රායෝගික භාවිතයකට යොදාගන්න වැඩ කටයුතු කරමින් හිටිය. ඒ අය ගේ මුල් ම උපකරණ එච්චර කාර්යක්ෂම ඒව උනේ නැතත්, භූමිතෙල් ලාම්පුවල උණුසුමින් ගුවන් විදුලි යන්ත්‍ර දහස් ගානකට බලය සපයන්න තරම් හොඳ තත්වෙක තිබුණ. ඒත් 1974 දී, ඒ අය තවමත් රහසක් විදිහට තියාගෙන ඉන්න විශාල සොයාගැනීමක් කරා. පද්ධතියේ සිසිල් පැත්තේ තාප විද්‍යුත් උපකරණ සවි කරේ මම. ඒ උනත් මං ඇත්තට ම ඒවා මොන වගේ ද කියල දැක්කේ නැහැ. ඒව තිබ්බේ මළ බැඳීම වළක්වන්න ගාපු තීන්තවලින් වැහිලා. මම දන්නෙ අන්තිමේ දි ඒවගෙන් ලොකු දැලක් හැදුන කියල විතරයි. හරියට පරණ වාෂ්ප රේඩියේටර් ගොඩක් එකට පුරුද්දව්ව වගේ.
ත්‍රිකුණාමලය ගුවන් පථයේ මං එනකං බලාගෙන හිටිය පොඩි කණ්ඩායමේ වැඩි හරියක් තිබ්බේ මං අඳුනන මුහුණු. සතුරු වේ වා, මිතුරු වේ වා ඒ අය හැමෝ ම මාව දකින්න කැමැත්තෙන් හිටිය බව පේන්න තිබ්බ. විශේෂයෙන් ම ප්‍රධාන ඉංජිනේරු ෂපිරෝ.
"ඉතින් ලෙව්, මොකක් ද ප්‍රශ්නෙ?" අපි ස්ටේෂන් වැගන් රථයට නැගල පිටත් වෙන වෙලාවෙ මං ඇහැව්ව.
"අපි දන්නෙ නැහැ..." ඔහු ඇත්ත ම කිව්ව. "... ප්‍රශ්නෙ මොකක් ද කියල හොයාගෙන ඒක හරිගස්සන එක තමයි ඔයා ගෙ වැඩේ."
"ඉතින් මොකක් ද උනේ?"
"පූර්ණ බල පරීක්ෂාවලට එනකං හැම දේ ම නියමාකාරයෙන් සිද්ධ උනා. අගහරුවාදා පාන්දර 01.34 වෙද්දිත් ප්‍රතිදානයේ තිබ්බේ ඇස්තමේන්තු කරපු ප්‍රමාණයෙන් සියයට පහක වෙනසක්..." ඔහු එහෙම කිව්වෙ මූණ ඇඹුල් කරගෙන. අනිවාර්යයයෙන් ම ඒ වෙලාව ඔහු ගේ හිතේ තදින් ම කාවැදිල ඇති. "...ඊළගට වෝල්ටීයතාව බොහොම දරුණු විදිහට විචලනය වෙන්න පටන් ගත්ත. ඉතින් අපි විද්‍යුත් භාරය කපා හැරල මාපාංකයන් සෝදිසි කරල බැලුව. මං හිතව්වෙ කවුරු හරි බූරු නැව් කපිතාන් කෙනෙක් කේබල්වල නැංගුරම පටලෝගෙන ඇති කියල. ඔයා දන්නව නෙ, ඒක එහෙම වෙන එක වළක්වගන්න අපි කොච්චර කරදර වින්ද ද කියල. ඉතින් අපි සර්ච් ලයිට් පත්තු කරල මුහුද සෝදිසි කරල බැලුවා. පේන තෙක් මානෙක නැවක් තිබුන් නෑ. ඇරත්, පැහැදිලි අහසක් තියන සන්සුන් රෑක වරායෙන් පිට නැංගූරම් දාන්න හදන්නෙ කවුද?
උපකරණ දිහා බලාගෙන දිගට ම අත්හදාබැලීම් කරනව ඇරෙන්න අපිට කරන්න වෙන කිසි ම දෙයක් තිබුණෙ නෑ. අපි කාර්යාලයට ගියා ම මං ඔක්කොම ප්‍රස්ථාර ටික පෙන්නන්නං. විනාඩි හතරකට පස්සෙ හැම දේ ම විසන්ධි වෙලා ගියා. බිඳවැටීම උනේ කොතන ද කියල හරියට ම කියන්න අපිට පුළුවන්. ඒක වෙලා තියෙන්නෙ ගැඹුරු ම කොටසෙ, ජාලෙ තියන හරියෙමයි... ඒක අනිවාර්යයෙන් ම වෙලා තියෙන්නෙ ඕනි එහා කොනේ, නැතුව පද්ධතියේ මෙහා කොනේ නං නෙවෙයි." ජනේලෙන් එළිය දිහාට ඇගිල්ල දික් කරන ගමන් ඔහු කනස්සල්ලෙන් කිව්ව.
අපි ඒ වෙලාවේ හිටියෙ සූර්ය පොකුණ පහු කරන ගමන්. සාම්ප්‍රදායික තාප එන්ජිමක බොයිලේරුවෙන් කෙරෙන වැඩේ මෙතන දි සිද්ධ උනේ ඒකේ ආධාරයෙන්. මේක රුසියානුවෝ ඊශ්‍රායෙල් ජාතිකයන් ගෙන් ණයට ගත්ත අදහසක්. සරලව කිව්වොත් ඒක සාන්ද්‍ර, කරදිය ද්‍රdවණයක් පුරවපු, අඩිය කළු කරපු, නොගැඹුරු විලක්. ඒක බොහොම කාර්යක්ෂම තාප උගුලක් විදිහට ක්‍රියා කරල සූර්ය තාපයෙන් ඒකෙ තියන ද්‍රවයේ උෂ්ණත්වය ෆැරන්හයිට් දෙසීයකට කිට්ටු වෙන්න ඉහළ දානව. ඒ ද්‍රවයේ බඹ දෙකක් ගැඹුරින් තමයි අගලක් අගලක් ගානේ තාප විද්‍යුත් පද්ධතියේ 'උණුසුම්' ජාලයන් ගිල්වල තියෙන්නේ. අති විශාල කේබල් ගොන්නකින් ඒව ඊට වඩා අංශක එක සිය පනහක් ශීතලෙන් යුත් මට අයිති ඒකකයත් එක්ක සම්බන්ධ වෙනව. ඒක තියන්නෙ අඩි තුන් දාහක් පහළිsන්, ත්‍රිකුණාමල වරායේ මුවවිට කිට්ටුවට ම එන මුහුද යට කුරුබිලිය පතුලේ.
"භූමිකම්පාවක් උනා ද කියල ඔයාල පරීක්ෂා කරල බලන්න ඇති කියල මං හිතනව?" මම එහෙම ඇහැව්වෙ එච්චර බලාපොරොත්තු තියාගෙන නෙවෙයි.
"ඇත්තෙන් ම අපි එහෙම කරා. භූකම්පනමානයේ මොනාවත් පෙන්නුම් කරේ නෑ."
"එතකොට තල්මස්සු? උන් ගෙන් කරදර වෙන්න පුළුවන් කියල මං ඔයාට කලිනුත් අනතුරු අගවලයි තිබ්බෙ."
දකුණු ඇමෙරිකාව කිට්ටුව මුහුදෙ හැතැක්ම බාගයක් ගැඹුරෙ තිබ්බ ටෙලිග්රාෆ් කම්බියක පැටලිල මැරිල හිටිය යෝධ තල්මහ ගැන දැනට අවුරුද්දකට විතර කලින්, ප්‍රධාන සන්නායක මුහුදේ එලන කාලෙ, මං ඉංජිනේරුවන්ට කියල තිබ්බ. ඒ වගෙ සිද්ධි දුසිමක් විතර දැනට වාර්තා වෙලා තියනව. ඒත් පේන්න තිබ්බ විදිහට අපේ සිද්ධිය එහෙම එකක් නෙවෙයි.
"අපිට ඊළගට කල්පනා උනෙත් ඒක ම තමයි..." ෂපිරෝ කිව්ව. "...අපි ධීවර දෙපාර්තමේන්තුවටයි, නාවික හමුදාවටයි, ගුවන් හමුදාවටයි කතා කරල බැලුව. වෙරළට කිට්ටුව කොහේ වත් තල්මස්සු හිටියෙ නෑ."
අන්න ඒ වෙලාවෙ දි තමයි මං හේතු අනුමාන කරන එක නවත්තල දැම්මේ. මොකද කියනව නං, අනිත් අය කතා වෙනව ඇහිච්ච දෙයකින් මාව ටිකක් ගැස්සිල ගිය නිසා. අනිත් හැම ස්විස් ජාතිකයෙක්ට වගේ ම මටත් භාෂා තේරුම්ගැනීමේ හොඳ හැකියාවක් තියනව විතරක් නෙවෙයි, රුසියානු වචනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් අල්ලගන්නත් මට පුළුවන් වෙලා තියනව. ඒ කොහොම උනත් 'සැබොටාෂ්' කියන වචනෙ තේරුං ගන්න කෙනෙක් වාග් වේදියෙක් වෙන්න ම ඕනි නෑ.
ඒක කිව්වෙ ව්‍යාපෘතියේ දේශපාලන උපදේශක දිමිත්‍රි කාර්පකින්. මට ඔහු ගැන පැහැදීමක් තිබ්බෙ නැහැ. අනිත් ඉංජිනේරුවොත් ඔහුට කැමති උනේ නැහැ. ඒ නිසා ම සමහර වෙලාවල දි ඒ අය ඔහුට සැලකුවේ ඕනෑවටත් වඩා අවිනීත විදිහට. ස්ටාලින් ගේ හෙවනැල්ලෙන් එහෙමපිටින්ම ගැලවෙන්න බැරි උන පරණ තාලෙ කොමියුනිස්ට්කාරයන් ගෙන් කෙනෙක් වෙච්චි ඔහු සෝවියට් සංගමයෙන් පිටත තිබ්බ හැම දෙයක් දිහා මයි, සෝවියට් සංගමේ ඇතුළෙ තිබ්බ දේවල්වලින් වැඩි හරියක් දිහායි බැලුවෙ සැකෙන්. 'කඩාකප්පල්කාරී ක්‍රියාවක්' කියන්නේ ඔහු ගොඩක් ම කැමති වෙන විදිහෙ පැහැදිලි කිරීමක්.
ඇත්ත ම කියනව නං, ත්‍රිකුණාමල විදුලි ව්‍යාපෘතිය අසාර්ථක වීම ගැන දුක් වෙන්නෙ නැති ගොඩ දෙනෙක් හිටිය. දේශපාලනමය වශයෙන් බැලුව ම සෝවියට් සංගමයේ ගෞරවය මේ එක්ක බැඳිල තිබ්බ. ආර්ථිකමය වශයෙන් බැලුව ම බිලියන ගානක්. මොකද, ජලතාප බලාගාර සාර්ථකයි කියල ඔප්පු උනොත් ඒවට තෙල්වලට, ගල්අගුරුවලට, ජල විදුලියට වගේ ම විශේෂයෙන් ම න්‍යෂ්ටික බලයට තරගයක් දෙන්න පුළුවන් නිසා.
ඒ උනත් මේක කඩාකප්පල්කාරී වැඩක් වෙන්න ඇති කියල මම තාමත් විශ්වාස කළේ නැහැ. අනික, මේ වෙත්දි සීතල යුද්ධෙත් ඉවර වෙලා. හැබැයි ජාලයෙන් කොටසක් නියෑදියක් විදිහට කඩා ගන්න කවුරු හරි ඔලමොට්ටල විදිහට උත්සාහ කරා වෙන්න පුළුවන්. ඒත් ඒක උනත් වෙන්න පුළුවන් කියල හිතන්න බැහැ. ඒ වගේ වැඩකට අතගහන්න පුළුවන් අය හිටියේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. එයිනුත් බාගයක් දෙනා මගෙන් පඩි ගන්න උදවිය.
දිය යට ක්‍රියා කරන කැමරාව එදා හවස ම ගෙනාව. රෑ එළි වෙනකං වැඩ කරල අපි කැමරා, මොනිටර වගේ ම සන්නිවේදන කේබල් හැතැක්මක් විතරත් යාත්‍රාවකට පටවගත්ත. අපි වරායෙන් පිටත් වෙන වෙලාවේ, කලින් හොඳට දැකල පුරුදු කෙනෙක් ජැටියේ හිටගෙන ඉන්නව මං දැක්ක. ඒත් මම හිටියේ ඒ කවුද කියල හරියට ම කියන්න බැරි තරම් දුරිනුයි. අනිත් අතට ඒ වෙලාවේ මගේ ඔළුවේ වෙන අදහස් ටිකක් වැඩ කර කරයි තිබ්බේ. ඔබට දැන ගන්න ම ඕනිනං මම කියන්නං. මම හොඳ නැවියෙක් නෙවෙයි. මම ඇත්තට ම තෘප්තිමත් මුහුද යට දි විතරයි.
ත්‍රිකුණාමලය ප්‍රදීපාගාරය දිහාට පරෙස්සමින් යාත්‍රාව යොමු කරපු අපි හරියට ම ජාලයට උඩින් ස්ථානගත උනා. කුඩා කිමිදුම් යාත්‍රාවක් වගේ පේන ස්වයං ප්‍රචාලක කැමරාව බෝට්ටුවේ එක් පැත්තකින් මුහුදට දැමුණා. මොනිටර දිහා ඇස් දල්වගෙන බලා හිටපු අපි මනසින් ඒකත් සමග ම මුහුදු පතුල දිහාවට යන්න උනා.
ජලය පුදුමාකාර විදිහට පැහැදිලියි වගේ ම පුදුමාකාර විදිහට පාළුයි. ඒ උනත් ජීවීන් ඇති බව පෙන්වන සලකුණු කිහිපයක් මුහුදු පතුලට කිට්ටු වෙද්දි අපිට දැකගන්න පුළුවන් උනා. කුඩා මෝරෙක් ඇවිත් අපිට එරෙව්වා. ඊළගට ස්පන්දනය වෙන ලපයක් වගේ ජල්ලියෙක් පා වෙලා ගියා. ඌව ලුහුබැඳගෙන ගියේ එකිනෙක සමග පැටලුණ සහ ලෝමවලින් ගැවසුණ අඬු සිය ගණනක් තියන ලොකු මකුළුවෙක් වගේ සතෙක්. අන්තිමේ දි බෑවුම් සහිත කුරුබිලි බිත්තිය දර්ශන පථයට ආවා. අපි හරියට ම ඉලක්කයට ඇවිත් හිටියා. මුහුද අභ්‍යන්තරයට ගමන් කරන මහත කේබල්, මම මාස හයකට ඉස්සරවෙලා අවසාන පරීක්ෂා කිරීම කරද්දි දකින්න තිබුණ විදිහට ම තිබුණා.
අව බල ජෙට් ක්‍රියාත්මක කරපු මම කැමරාවට විදුලි කේබල් දිගේ පහළට පා වෙලා යන්න ඉඩ හැරියා. පාෂාණමය බිත්තියට කාවද්දපු කූඤ්ඤවලින් සවිමත් ව සම්බන්ධ වෙලා තිබ්බ ඒව හොඳ තත්වයෙන් තියෙන බව පේන්න තිබ්බා. ආපදාවක් වෙලා තියන බව කියවෙන සලකුණක් හරි දකින්න ලැබුණෙ ජාලය ළගට ආවමයි.
ලයිට් කණුවක හැප්පුණ කාර් එකක රේඩියේටරේ දැකල තියනව ද? ජාලයේ එක කොටසක් පෙනුණෙ ආන්න ඒ වගේ. මොකක් හරි නිසා ඒක පොඩිපට්ටම් වෙලා තිබ්බ. හරියට පිස්සෙක් කුළුගෙඩියකින් ඒකට තඩිබාල වගේ.
මගේ කරට උඩින් බලාගෙන හිටපු අය පුදුමයෙන් වගේ ම තරහින් මුමුණන්න පටන් ගත්ත. ඒ අස්සෙ කවුරු හරි 'සැබොටාෂ්' කියල කියනව ඇහිච්ච මම පළවෙනි වතාවට එහෙම දෙයක් ගැන වද වෙන්න පටන් ගත්ත. මේකට තිබ්බ අනෙත් එක ම පැහැදිලි කිරීම තමයි ලොකු ගලක් වැටීම නිසා මෙහෙම උනා කියන එක. ඒත් එහෙම වැටෙන්න පුළුවන් ගල් තියනව ද කියල බලන්න ඒ වෙන කොටත් කුරුබිලියේ බෑවුම් ප්‍රදේශයක් බොහොම පරිස්සමින් පරීක්ෂා කරලයි තිබ්බේ.
හේතුව මොක උනත් හානියට පත් උන ජාලයේ කොටස් මාරු කරන්න සිද්ධ වෙනව. මගේ ටොන් විස්සෙ 'පොකිරිස්සා' ඒක වැඩට ගන්නෙ නැති වෙලාවට තියල තියන ස්පෙට්සියාවෙ තටාකාංගනයේ ඉඳල මෙහාට ගුවන් මගින් ගේනකං ඒ වැඩේ කරන්න විදිහක් නැහැ.
"ඉතින්, ඒකට කොච්චර කාලයක් යයි ද?" මම මගේ දෘෂ්‍ය පිරික්සුම අවසාන කරල තිරය මත තිබ්බ කණගාටුදායක දර්ශනය ඡායාරූපගත කරාට පස්සේ ෂපිරෝ ඇහුව.
මම එක පාරට ම උත්තරයක් දෙන්න කැමති උනේ නැහැ. මුහුද යට කරන වැඩවල දි මං ඉගෙනගත්ත මුල් ම දේ තමයි, මොන ම වැඩක් වත් තමන් හිතාගෙන ඉන්න විදිහට කරන්න බැහැ කියන එක. තමන් ගනුදෙනු කරන්නේ මොන වගේ දෙයක් එක්ක ද කියල තමන්ට හරියටම තේරුම් යන්නේ වැඩේ බාගයක් විතර කරගෙන යද්දි. ඉතින් යන වියදම සහ කාලය ගැන හරියට ම ඇස්තමේන්තු කරල කියන්න බැහැ.
මගේ පුද්ගලික අදහස උනේ මේකට දවස් තුනක් යයි කියල. ඒ නිසා "හැම දේ ම හොඳින් සිද්ද උනොත් සතියකට වඩා යන එකක් නෑ" කියල මම කිව්ව.
"ඊට වැඩිය ඉක්මනට කරන්න බැරි ද?" ෂපිරෝ කෙඳිරි ගෑව.
"මම දුර දිග බලන්නේ නැතුව තදියමේ වැඩ කරල අමාරුවේ වැටෙන්න යන්නෙ නෑ. කොහොම උනත් ඒකෙන් ඔයාට ඉතිරි වැඩ ටික ඉවර කරන්න සති දෙකක් ලැබෙනව."
ආයෙත් වරායට එනකන් ම කංකෙඳිරි ගෑව උනත්, ඒ උත්තරෙන් සෑහීමට පත් වෙන්න ඔහුට සිද්ධ උනා. අපි වරායට ළගා උනාට පස්සෙ ඔහුට කල්පනා කරන්න වෙන දෙයක් හම්බ උනා.
"සුබ උදෑසනක් ජෝ ..." ජැටියට වෙලා අපි එනකං ඉවසිල්ලෙන් මග බලාගෙන හිටිය පුද්ගලයට මම කිව්ව. "... අපි පිටත් වෙලා යද්දි දැක්කෙ ඔයා වෙන්න ඕනි කියල මං හිතුව. මොකද මෙහෙ කරන්නෙ?"
"මමත් ඔයා ගෙන් අහන්න හිටියේ ඒ ප්‍රශ්නෙමයි."
"ඔයා මගේ ලොක්කත් එක්ක කතා කරන එක වැඩිය හොඳයි. ප්‍රධාන ඉංජිනේරු ෂපිරෝ, මේ තමයි ජෝ වොට්කින්ස්, ටයිම්ස් පත්තරේ විද්‍යා වාර්තාකරු."
ලෙව් ගේ ප්‍රතිචාරය එච්චරට ම සුහදශීලී උනේ නැහැ. සාමාන්‍යයෙන් සතියකට එක්කෙනා ගානේ විතර එන පත්තර වාර්තාකාරයොත් එක්ක කතා කරනවට වඩා ඔහු කැමති දෙයක් තවත් ඇත්තෙ නැහැ. දැන් විවෘත කරන දවස කිට්ටු නිසා හැම දිහාකින් ම වාර්තාකාරයෝ එන්න පටන්ගනියි. රුසියාවෙන් පවා. ඒත් ඇති වෙලා තියන තත්වය අනුව 'ටාස්' එකට උනත් ටයිම්ස් පත්තරේට තරම් ම මෙහෙ දොරවල් වැහිලයි තියෙන්නෙ.
කාර්පකින් තත්වය පාලනය කරපු හැටි ඇත්තෙන් ම විනෝදජනකයි. ඔහු ඒ මොහොතේ ඉඳන් මාර්ගෝපදේශනයට, දාර්ශනික මතවාද සාකච්ඡාවට වගේ ම අඩියක් ගහන්න සහයෝගයටත් එක්ක සර්ගෙයි මාර්කොව් කියල ප්‍රසන්න, තරුණ මහජන සම්බන්ධතා නිලධාරියෙක් ජෝට ඈඳල තිබ්බ. කොච්චර උත්සාහ කරත් ජෝට ඔහුව හලල දාන්න බැරි උනා. ෂපිරෝ ගෙ කාර්යාලයේ තිබුණ දිග සාකච්ඡාවකට පස්සෙ විඩාපත් වෙලා හිටිය මම, පස්වරුවේ මැද දි, කල් පහුවෙච්ච දවල් කෑමකට රජයේ තානායමේ දි ඔවුන්ව මුණගැහුණා.
"මෙහෙ මොනා ද වෙන්නෙ ක්ලවුස්?..." සානුකම්පිත විදිහට ජෝ ඇහුව. "...මොකක් හරි අවුලක් තියනව කියල මට දැනෙනව. ඒත් කවුරුත් මොනාවත් පිළිගන්නෙ නෑ නෙ."
මම කරියක් එක්ක ඔට්ටු වෙමිනුයි හිටියේ. කෑමට ගන්න පරෙස්සම් කොටස්වලින්, කෑවම කන්වලින් දුං විසික් වෙන කොටස් ටික වෙන් කරගන්න උත්සාහ කරන ගමන් මං උත්තර දුන්න.
"සේවාලාභියෙක් එක්ක තියන ගනුදෙනු මං ඔයත් එක්ක කතා කරයි කියල බලාපොරොත්තු වෙන්න ඔයාට බැහැ."
"ජිබ්‍රොaල්ටා වේල්ලෙට ඕන කරන සමීක්ෂණ කරද්දි ඔයා ඇති තරම් කතා කරා." ජෝ මට මතක් කරල දුන්න.
"ඔව්..." මං පිළිගත්ත. "...ඒ වගේ ම ඔයා ඒ ගැන ලියපු ලිපියට මං ස්තූතිවන්ත වෙනව. ඒත් මේ පාර ව්‍යාපාරික රහස් වගයක් තියනව. මේ - මේ - මං පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කරන්න අන්තිම මොහොතෙ කරන සීරු මාරු කිරීම් වගයක් කරනව."
ඒක බොරුවක් නෙවෙයි. මං ඇත්තට ම උත්සාහ කරමින් හිටියේ දැනට බිංදුවේ තියන පද්ධතියේ කාර්යක්ෂමතාවය ඊට වඩා වැඩි කරන්න.
"හ්ම්... බොහොම ස්තූතියි." ජෝ ඇනුම්පදයක් කිව්ව.
"ඒක නෙවෙයි, ඔයා ගෙ අර පිස්සු සිද්ධාන්තවලින් අලුත් ම එක මොකක් ද?" කතාව වෙන අතකට හරෝගන්න හිතාගෙන මම ඇහැව්ව.
අති දක්ෂ විද්‍යා ලේඛකයෙක් උනත් ජෝට අරුම පුදුම සහ ඇදහිය නොහැකි දේවල් ගැන හොයන්න අමුතු ආසාවක් තියනව. සමහර විට ඒක එදිනෙදා වැඩවලින් පොඩි විවේකයක් ගන්න ඔහු කරන දෙයක් වෙන්න ඇති. මං දන්න විදිහට ඔහු විද්‍යා ප්‍රබන්ධත් ලියනවා. හැබැයි ඒක ඔහු ඔහු ගෙ සේවායෝජකයන් ගෙන් බොහොම පරිස්සමට හංගගෙන ඉන්න රහසක්. අවතාර ගැන, අතීන්ද්‍රිය සංජානනය ගැන වගේ ම පියාඹන පීරිසි ගැනත් අත්හැරගන්න බැරි කැමැත්තක් ඔහුට තියනව. ඒත් ඔහු ගෙ නියම විශේෂඥතාව තියෙන්නෙ අතුරුදහන් උන මහාද්වීප ගැන.
"මං අදහස් දෙක තුනක් ගැන හොයා බල බලයි ඉන්නෙ .." ඔහු පිළිගත්තා. "...ඒ ඔක්කොම මතු උනේ මම මේ කතාව ගැන විස්තර හොයද්දි."
"කියාගෙන යන්නකො" මම කරමින් හිටිය කරිය අධ්‍යයනය කිරීමේ මෙහෙයුමෙන් ඔළුව උස්සන්න මහන්සි නො ගෙන ම කිව්ව.
"ටික දවසකට කලින් මට ගොඩක් පරණ ලංකා සිතියමක් හම්බ උනා. ඒක ටොලමි ඇඳපු එකක්. ඒක දැක්කම මට මගේ එකතුවේ තිබ්බ තවත් සිතියමක් ගැන කල්පනා උනා. මම ඒ සිතියමත් අරගෙන බැලුව. සිතියම් දෙකේ ම තිබ්බෙ එක ම මධ්‍යම කඳුකරේ, එක ම විදිහෙ ගංගා. ඒත් මේ අනිත් සිතියම ඇට්ලන්ටිස්වල එකක්."
"හපොයිෘ.." මම කිව්ව. "...අන්තිම වතාවට අපි මුණගැහිච්ච වෙලාවෙ ඔයා සහතික කරල ම කිව්ව නේ ද ඇට්ලන්ටිස් තිබ්බේ බටහිර මධ්‍යධරණි ෙද්‍රdaණියෙ කියල."
ජෝ ඔහු ගෙ සිත්ගන්නාසුලු හිනාව දැම්ම.
"මට වරදින්න පුළුවං, නැද්ද? ඒ කොහොම උනත් මං ගාව ඊටත් වඩා සිත් ඇදගන්නාසුලු සාක්කියක් තියනව. ලංකාවට පැරණි කාලෙ ඉඳන් ම කියන නම ගැන ඔයාට මොකද හිතෙන්නෙ."
මම ටික වෙලාවක් කල්පනා කරා. "දෙයියනේ., 'ලං'-කා, ඇට්-'ලං'-ටිස්." මම නම් දෙක එහාට මෙහාට පෙරළල ඒ දෙකේ තියෙන සමානතාව දිහා බැළුව.
"හරියට ම හරි,..." ජෝ කිව්ව. "...ඒත්, කොච්චර සිත් ඇදගන්නාසුලු උනත් හෝඩුවාවල් දෙකකින් අංග සම්පූර්ණ සිද්ධාන්තයක් ගොඩනගන්න බෑ. ඉතින්, දැනට මං ගාව ඔයිට වැඩිය දෙයක් ඇත්තෙ නැහැ."
"අපරාදෙ,..." ඇත්තට ම බලාපොරොත්තු කඩවෙච්ච මං කිව්ව "...එතකොට ඔයා ගෙ අනෙක් ව්‍යාපෘතිය?"
"මේකට නං ඇත්තට ම ඔයා කැමති වෙයි." ජෝ ආඩම්බරකාර හඬකින් කිව්ව.
හැම තැන ම අරගෙන යන ඔහු ගෙ පරණ බීෆ්කේසයට අතපොවපු ඔහු ඒකෙන් පත්තර මිටියක් එළියට ඇදල ගත්ත.
"මෙහාට හැතැක්ම එක සිය අසූවක් විතර එහායින් මේක සිද්ද වෙලා තියෙන්නෙ දැනට අවුරුදු සීයකට විතර උඩ දි. පේනව නෙ, මට තොරතුරු ලැබුණ මූලාශ්‍රය දැනට තියන ඒව ගෙන් හොඳ ම එකක්."
ඔහු මගෙ අතට ඡායා පිටපතක් දුන්න. ඒක 1874 ජූලි හතර වැනි දා ලන්ඩන් ටයිම්ස් පත්තරේ පිටුවක්. ජෝ හැම තිස්සෙ ම වගේ පුරාණ පත්තරවල කෑලි දික් කරන නිසා මං ඒක කියවන්න ගත්තෙ එච්චර උනන්දුවකින් නෙවෙයි. කොහොම උනත් මගේ උදාසීන ගතිය එච්චර වෙලාවක් තිබ්බෙ නෑ.
මම සම්පූර්ණ විස්තරේ ම කියන්න උනත් කැමතියි. ඒත් ඔබට වැඩිදුර විස්තර උවමනා නම් තත්පර දහයක් ඇතුළත පුරාණ දේශීය පුස්තකාලයකින් අවශ්‍ය කරන පිටපත් ලබා දෙයි. කෙටියෙන් කියනව නම්, ඒකෙ විස්තර කරල තිබ්බෙ 1874 මැයි මාසෙ මුල ලංකාවෙන් පිටත් උන 'පර්ල්' කියන ටොන් එක සිය පනහෙ කුඹ දෙකේ රුවල් නැව බෙංගාල බොක්කෙ දි අනතුරට පත් උනේ කොහොම ද කියලයි.
මැයි දහ වෙනිද අඳුර වැටෙන්න ටික වෙලාවකට කලින් නැවට හැතැක්ම බාගයක් විතර දුරින් අති විශාල දැල්ලෙක් මුහුදෙන් මතු වෙල තියනව. නැවේ කපිතාන් තැන මෝඩය වගේ තමන් ගෙ රයිෆලයෙන් ඌට වෙඩි තියල.
කෙලින්ම 'පර්ල්' දිහාවට පීනගෙන ආපු දැල්ලා උගේ අඬු කුඹගස්වල පටලෝල නැව පැත්තට පෙරළල තියනව. තත්පර ගානක් ඇතුළත නැව ගිලිල ගිහින් තියෙන්නෙ නාවිකයො දෙන්නෙකුටත් මරු කැඳවමින්. වාසනාවකට වගේ මේ සිද්ධිය දැක්ක, ඒ කිට්ටුවෙන් ගිය 'ස්ට්රැත්හෝවන්' කියන පෙනින්සියුලර් සහ ඔරියන්ටල් දුම් නැව් සමාගමට අයත් දුම් නැවෙන් අනිත් අයව බේරගෙන තියනව.
"ඉතිං, මොකද හිතෙන්නෙ?"
මම ඒක දෙවෙනි පාරටත් කියෙව්වට පස්සෙ ජෝ ඇහැව්ව.
"මුහුදු රාක්ෂයො ගැන මං විශ්වාස කරන්නෙ නෑ."
"ලන්ඩන් ටයිම්ස් කියන්නෙ ප්රවෘත්ති මවල පළ කරන පත්තරයක් නෙවෙයි...." ජෝ උත්තර දුන්න. "...ඒ වගේ ම යෝධ දැල්ලො ඉන්නව. අපි දැනට දන්න ලොකු ම දැල්ලොන්ට අඩි හතළිහක් විතර දිග අඬු තිබ්බ උනත් උන් ටොන් එකක් වත් බර නැති සියුමැලි වගේ ම දුර්වල සත්තු."
"ඉතින්, ඒ වගේ සතෙක්ට ටොන් එක සිය පනහෙ නැවක් පෙරළන්න බෑ නෙ?"
"ඇත්ත, ඒත් අපි දැං ඔය යෝධ දැල්ල කියල කියන්නෙ නිකං ම නිකං ලොකු දැල්ලෙක්ට කියල කියන්න සාක්ෂි තියනව. ඇත්තෙන් ම අති විශාල දශ පාදිකයො සමහර විට මුහුදෙ ඉන්න පුළුවං. දැං බලන්න, මේ 'පර්ල්' සිද්ධියෙන් අවුරුද්දකට විතර පස්සෙ, යෝධ තල්මහෙක් ඌව වෙලාගෙන හිටිය සහ අන්තිමේ දි ඌව මුහුදු පතුලට ඇදගෙන ගිය අති විශාල දරණෙකින් බේරෙන්න දගලනව බ්‍රසීලයට කිට්ටු මුහුදෙ දි දකින්න ලැබිල තියනව. 1875 නොවැම්බර් විසි වෙනිද චිත්‍ර සහිත ලන්ඩන් නිව්ස් පත්තරේ ඒ සිද්ධිය වාර්තා කරල තියනව. ඊළගට 'මොබි-ඩික්' පොතේ අර පරිච්ඡේදය තියනව..."
"මොන පරිච්ඡේදය ද?"
"ඇයි අර 'දැල්ලා' කියන පරිච්ඡේදය. මෙල්විල් කියන්නෙ හොඳ නිරීක්ෂකයෙක් කියල අපි දන්නව. ඒත් මෙතන දි ඔහු අපිට විකාරයක් වගේ හැඟෙන දෙයක් කියනව. ඔහු, - ('මේ දැන් කන්දකින් කඩාහැළුණු ලොකු හිම කුට්ටියක් වගේ') - සුදු පාට අති විශාල යමක් මුහුදෙන් මතු වුණ සන්සුන් දවසක් ගැන විස්තර කරනව. මේක සිද්ධ උනෙත් ඉන්දියන් සාගරේ මයි. සමහර විට 'පර්ල්' සිද්ධිය උන තැනට හැතැක්ම දාහක් විතර දකුණින් වෙන්න ඕන. හොඳට මතක තියා ගන්න, කාලගුණ තත්වය එහෙමත් කලින් සිද්ධිය උන වෙලාවෙ දි වගේමයි.
"මට මේ ඡේදේ කට පාඩං. මං ඒක එච්චරට ම හොඳ සැලකිල්ලෙන් කියවල තියනව."
"අති විශාල, ලොඳ වැනි යමක් ජලයේ පා වන අයුරු 'පීකොඩ්'හි නැවියෝ දුට හ. දිගින් සහ පළලින් පර්ලෝම ගණනාවක් වූ එය දිළිසෙන ක්‍රීම් පැහැයකින් යුතු විය. ඇනකොන්ඩාවන් සමූහයක් සිහි ගන්වන ආකාරයේ ඇඹරෙන සහ දගර ගැසෙන අඬු ගිණිය නොහැකි තරම් ප්‍රමාණයක් එහි මධ්‍යයේ සිට පිටතට විහිදී තිබිණි."
"පොඩ්ඩක් ඉන්න, ..." මේ හැම දේ ම හොඳ අවධානයෙන් අහගෙන හිටිය සර්ගෙයි කිව්ව. "...පර්ලෝමයක් කියන්නෙ මොකට ද?"
ඒ ප්රශ්නය නිසා ටිකක් විතර අපහසුවට පත් උන ගතියක් ජෝ ගෙන් පේන්න තිබ්බ.
"හරියට ම කිව්වොතින්, ඒක හැතැක්මකින් අටෙන් පංගුවක්, අඩි හය සිය හැටක්..."
අපේ අවිශ්වාසය පළ කරන හිනාව නවත්තගන්න කියල ඔහු එක අතක් උස්සල සන් කරා.
"...මෙල්විල් ඒක ඒ විදිහට ම අදහස් කරන්න නැතුව ඇති කියල මට විශ්වාසයි. ඒත් මෙන්න, යෝධ තල්මස්සු හැම දා ම දකින මනුස්සයෙක් ඊට වඩා ගොඩක් ලොකු දෙයක් ගැන පැහැදිලි කරන්න වෙනත් දිග මනින ඒකකයක් හොයනව. ඉතින් ඔහු ඉබේ ම බඹවලින් පර්ලෝමවලට මාරු වෙනව. කොහොම උනත්, ඒක තමයි මගේ සිද්ධාන්තය."
ඉතුරු වෙලා තිබ්බ කරියෙ අතගහන්න බැරි හරිය මම පැත්තකට කරා.
"මගේ රස්සාව එපා වෙන තරමට මාව බය කරා කියල ඔයා හිතනව නං, ඔයාට හොඳට ම වැරදිල..." මම කිව්ව. "...ඒත් මං ඔයාට මේක පොරොන්දු වෙන්නං. මට යෝධ දැල්ලෙක් මුණගැහුණ ම, සිහිවටනයක් හැටියට මං උගෙ ග්‍රාහිකාවක් කපාගෙන එනව."
පැය විසි හතරකට පස්සෙ මම "පොකිරිස්ස" ඇතුළට වෙලා හානි වුණ ජාලය දිහාවට හෙමින් පහත බහිමින් හිටිය. මෙහෙයුම රහසක් විදිහට තියාගන්න කිසි ම විදිහක් තිබුණෙ නැති නිසා ජෝ ළඟපාත යාත්‍රාවක හිටිය උනන්දුසහගත නරඹන්නෙක් වෙලා හිටිය. ඒක රුසියානුවන් ගෙ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ජෝ විශ්වාස කටයුතු කෙනෙක් විදිහට පිළිගන්න කියල මං ෂපිරෝට කියල බැලුවා. ඒත් කාර්පකින් ගෙ ස්ලැවික් මානසිතක්වය ඒ අදහස නිෂේධ කරල දැම්ම. ත්‍රිකුණාමලය කියන්නෙ දැන් වැදගත් ප්රවෘත්තිමය වටිනාකමක් තියන තැනක් කියන පැහැදිලි ව ම පේන පිළිතුර නො සලකා හැරල, ඇමෙරිකන් වාර්තාකාරයෙක් මේ වෙලාවේ මෙහාට කඩාපාත් වෙන්නෙ ඇයි කියල ඔහු කල්පනා කරන හැටි කෙනෙක්ට පේන තරම්.
හරියට කරනව නම්, ගැඹුරු මුහුදෙ කරන ක්‍රියාකාරකම්වල කිසි ප්‍රබෝධවත් ගතියක් වත් ආවේගශීලී ගතියක් වත් ඇත්තෙ නැහැ. ආවේගශීලීත්වය කියන්නෙ දූරදර්ශීභාවයක් නැතිකම, ඒ කියන්නෙ අදක්ෂභාවය. මගේ වෘත්තියෙ අදක්ෂ අයට වැඩි ආයුෂ නැහැ. ආවේගශීලී අයට වෙන්නෙත් ඒ ටික මයි. මං මගේ රැකියාවෙ යෙදුණෙ කාන්දු වෙන කරාමයක් එක්ක ඔට්ටු වෙන ජල නළ කාර්මිකයෙක්ට තියෙන විදිහේ සංයමයකින්.
කොයි වෙලාවක හරි ඒව ගලවල අලුත් කොටස් හයි කරන්න වෙන නිසා ජාලය නිර්මාණය කරල තිබ්බෙ නඩත්තු කරන්න පහසු වෙන ආකාරයටයි. වාසනාවකට වගේ පොටවල්වලට හානි වෙලා තිබුණෙ නැහැ. විදුලි ඉස්කුරුප්පු නියනෙන් ඇල්ලුව ම සම්බන්ධක මුරිච්චි පහසුවෙන් ගැලවිල ආව. ඊළඟට මම බරපතළ වැඩට පාවිච්චි කරන අඬුවට පාලනය මාරු කරල ජාලයේ හානි උන කොටස කිසි ම අපහසුවකින් තොර ව ඔසවල ගත්ත.
දිය යට කරන ක්‍රියාකාරකමක් දඩිබිඩියෙ කරන්න නරකයි. ඔබ එකපාර ගොඩක් දේවල් කරන්න හැදුවොතින් ඔබ අතින් වැරැද්දක් වෙන්න තියන ඉඩකඩ වැඩියි. අනිත් අතට වැඩ ටික හොඳින් සිද්ධ වෙලා, සතියක් වැය වෙනව කියල ඔබ කියපු වැඩේ දවසකින් ඉවර කරොත්, ඔහු ගෙවන මුදලට හරියන සේවාවක් සැපයුවෙ නැහැ කියල සේවාලාභියාට හිතෙන්න පුළුවන්. එදා හවස ම ජාලයෙ අලුත් කොටස සවි කරන්න පුළුවන්කම තිබුණ උනත් මම හානි උන ඒකකය මතුපිටට ගෙනල්ල එදා දවසෙ වැඩ කටයුතු අහවර කළා.
තාප මූලාවයවය පරීක්ෂා කිරීම සඳහා කඩිමුඩියෙ ම අරගෙන ගියාට පස්සෙ, මම හවස් වරුවෙ ඉතිරි හරිය ජෝ ගෙන් හැංගි හැංගි ගත කරා. ත්‍රිකුණාමලය කියන්නෙ පොඩි නගරයක් උනත්, ප්‍රදේශයේ සිනමා ශාලාවට ගොඩ වෙච්ච මට ඔහු ගෙන් වසන් වෙලා ඉන්න පුළුවන් උනා. එතන පැය කීපයක් තිස්සෙ වාඩි වෙලා, වරද්දාගත් අනන්‍යාව, බේබදුකම, අත්හැර යැම, මරණය සහ සිහි විකල් වීම කියන එක ම ගෘහස්ථ අර්බුද ටිකට පිට පිට පරම්පරා තුනක් තිස්සෙ මුහුණ දෙන පවුලක් ගැන කියවෙන කෙළවරක් නැති දෙමළ චිත්‍රපටයක් බලන්න මට අවස්ථාව ලැබුණ. නිකං ම නෙවෙයි, වෛවර්ණ ව වගේ ම උපරිම සද්දෙට.
පොඩි හිසේ කැක්කුමක් තිබුණ උනත්, පහුව දා හිමිදිරිය පහු උන ගමන් ම වගේ මම හිටියෙ වැඩ බිමේ. (ජෝත් එතනට ඇවිත් හිටිය. ඒ විතරක් නෙවෙයි, නිස්කලංක දවසක මාළු බාන්න ඕන හැම දේ ම සූදානම් කරගෙන ම සර්ගෙයිත් ඇවිත් හිටිය). 'පොකිරිස්ස්ට ගොඩවිච්ච මම, යාත්රවේ දොඹකරයෙන් ඒක මුහුදට පහත් කරන අතරවාරයේ දී ප්‍රීතියෙන් ඔවුන්ට අත වැනුවා. ජෝට නො පෙනෙන්න, යාත්‍රාවේ අනෙක් පැත්තෙන්, අලුතින් සවි කරන්න යන ජාලය මුහුදට පහත් කරා. බඹ කීපයක් යට දී මම ඒක දොඹකරයෙන් ඉවත් කරගෙන 'ටි්රන්කො ඩීප්'හි පතුලට අරගෙන ගියා.
පස්වරුවෙ මැදක් වෙන කොට කිසි කරදරයක් නැතුව ඒක සවි කරල අවසන් කළා. මම ආපහු මතුපිටට එන්න කලින්, අගුලු මුරිච්චි හොඳින් තද කරල සන්නායක තිත් පෑස්සුම් කළා වගේ ම, ගොඩබිම හිටිය ඉංජිනේරුවෝ ඒ අය ගෙ අඛණ්ඩතා පරීක්ෂණත් සම්පූර්ණ කරා. මම නැව් තට්ටුවට පය ගහන වෙලාව වෙද්දී පද්ධතිය නැවත ක්‍රියා කරන්න පටන්ගෙන තිබ්බ. හැම දේ ම සාමාන්‍ය අතට හැරිල තිබ්බ වගේ ම, (තවමත් කාට වත් උත්තරයක් හොයාගන්න බැරි උන ප්රශ්නය ගැන කල්පනා නො කර ඉන්න වෙලාවේ දී ඇරෙන්න) කාර්පකින් පවා හිනා වෙමින් හිටිය.
වඩා හොඳ පැහැදිලි කිරීමක් ඕන වෙලා තිබුණත්, තවමත් මගේ අදහස උනේ ලොකු ගලක් වැටීම නිසා මේ දේ වෙන්න ඇතියි කියල. ඒක රුසියානුවොත් පිළිගනියි කියල මං බලාපොරොත්තු උනා. එතකොට ජෝත් එක්ක කරගෙන යන මේ හැංගිමුත්තං සෙල්ලම අපිට නවත්තල දාන්න පුළුවන් වෙයි.
ෂපිරෝයි කාර්පකිනුයි දෙන්න ම මූණවල් දික් කරගෙන මාව මුණගැහෙන්න ආවම, ඒ වැඩේ හරියන්නෙ නෑ කියල මං තේරුම්ගත්ත.
"ක්ලවුස්,...." ලෙව් කිව්ව. "...ඔයා ආයිත් පහළට යන්න ඕනි."
"ඔයගොල්ලන් ගෙ සල්ලි තමයි ඉතිං..." මම උත්තර දුන්න. "ඒත් මම මොනා ද කරන්න ඕන?"
"හානි වෙච්ච ජාලය අපි පරීක්ෂා කරල බැලුව. තාප මූලාවයවයෙ කොටසක් අඩුයි. "කවුරු හරි. ඕනකමින් ම ඒක කඩල අරගෙන යන්න ඇති කියල දිමිත්‍රි හිතනව."
"එහෙනං ඒගොල්ලො ඒක කරල තියෙන්නෙ අන්තිම මෝඩ විදිහට" මම උත්තර දුන්න. "ඒ මං ගාව වැඩ කරන කෙනෙක් නං නෙවෙයි කියල ඔයගොල්ලන්ට සහතික වෙන්න මට පුළුවං."
කාර්පකින් ඉන්න තැන ඒ වගෙ විහිළු කරන එක අවදානම්. කවුරු වත් පොඩ්ඩක්වත් හිනා උනේ නැහැ. අඩු ම තරමෙ මං වත්. ඔහුට මොකක් හරි පොටක් පෑදිල ඇති කියල මට මේ වෙද්දී හිතෙන්න පටන් අරගෙනයි තිබ්බෙ.
'ටි්රන්කො ඩීප්' වෙතට මගේ අවසන් කිමිදුම පටන් ගනිද්දී ඉර බහිමින් තිබුණ. ඒත් දවසෙ අවසානයට මේ ගැඹුරෙ කිසි ම තේරුමක් ඇත්තෙ නැහැ. මුහුදෙ ඉන්න බබළන සත්තු අන්ධකාරයේ නිවෙන දැල්වෙන දිහා වගේ ම සමහර වෙලාවල දී නිරීක්ෂණ කවුළුවට පිටතින් අහස් කූරු වගේ පුපුරා හැළෙන හැටිත් බලාගෙන ඉන්න මම කැමැති නිසා ආලෝකය රහිත ව ම මම අඩි දෙ දාහක් පහළට ගමන් කළා. මේ විවෘත ජලයේ දී මොකක වත් ගැටීමේ අනතුරක් තිබ්බෙ නැහැ. ඒ කොහොම උනත් මම පුළුල් පරාස සෝනා උපකරණය ක්‍රියාත්මක කරල තිබ්බ. මගේ ඇස්වලින් කරනවට වඩා හොඳට ඒකෙන් අනතුරු හඳුනගන්න පුළුවන්කම තිබ්බ.
බඹ හාර සීයෙ දී, මොකක් හරි වැරැද්දක් වෙලා තියනව කියල මට දැනුණ. සිරස් හඬකුරුවට පතුළ පෙනෙන්න පටන්ගෙන තිබ්බ උනත්, ඒක ළං වෙමින් තිබ්බෙ බොහොම හෙමින්. මගේ පහළ බැසීමේ වේගය ගොඩක් ම අඩු වෙලා. තවත් ඉපිලුම් ටැංකියකට වතුර පිරෙන්න ඇරල ඒක ලේසියෙන් ම වැඩි කරන්න මට පුළුවන්කම තිබුණ උනත්, මම එහෙම කරන්න අදිමදි කරා. මගේ වෘත්තියෙ දි, අසාමාන්‍ය හැම දේට ම පැහැදිලි කිරීමක් අවශ්‍යයි. එහෙම එකක් ලැබෙන කං පමා වීම නිසා තුන් පාරක් මම පණ බේරගෙන තියනව.
උෂ්ණත්වමානයෙන් මට උත්තරය ලැබුණ. පිටත උෂ්ණත්වය තියෙන්න ඕන ප්‍රමාණයට වඩා අංශක පහක් වැඩියි. ඒත් ඒ ඇයි කියල තේරුම්ගන්න මට තත්පර කීපයක් ගියා.
මං ඉන්න තැනට අඩි දෙ තුන් සීයක් පහළින් තියන අලුත්වැඩියා කරපු ජාලය දැන් ඒකෙ උපරිම බලයෙන් ක්‍රියාත්මක වෙනව. 'ටි්රන්කො ඩීප්' සහ උඩ ගොඩබිමේ තියන සූර්ය පොකුණ අතර උෂ්ණත්ව වෙනස සමබර කරන්න ගන්න උත්සාහයෙ දි ඒක මෙගාවොට් ගානක් තාපය පිට කරනව. ඒකට කොහොම වත් සමබරතාවකට එන්න බැහැ. ඒත් ඒක එහෙම කරන්න ගන්න උත්සාහයෙ දි විදුලිය නිපදවෙනවා. ඒ ක්‍රියාවලියේ අමතර අතුරුඵලයක් වෙච්ච උණු දිය ගීසරය මාව ඉහළට තල්ලු කරමින් ඉන්නවා.
මම ජාලය කිට්ටුවට ආවට පස්සේ, ඉහළ නගින ජල ප්රවාහයේ 'පොකිරිස්සා' එක විදිහකට තියාගන්න එක ගොඩක් ම අපහසු උනා. තාපය කැබින් කුටිය තුළට කාන්දු වෙමින් තිබුණ නිසා මට දාඩිය දාන්න පටන්ගෙන තිබ්බා. මුහුදු පතුළේ දී රස්නේ නිසා දාඩිය දානව කියන්නෙ අලුත් ම අත්දැකීමක්. ඉහළ නගින ජලය නිසා අවට මිරිඟුවක් වගේ පෙනෙන එකත් ඒ වගේ ම අලුත් අත්දැකීමක්. ඒක මගේ විදුලි ආලෝකය මං සෝදිසි කරමින් හිටිය පාෂාණ බිත්තිය මත නටන්න සැලැස්සුව.
බඹ පන් සීයක් ගැඹුරු අන්ධකාරයේ ආලෝකයෙන් දිළිසි දිළිසි, ඒ වෙද්දි වහලයක තියන තරමේ තියුණු බෑවුමක් තිබ්බ කුරුබිලියේ මුහුණත දිගේ හෙමින් පහළට ගමන් කරන මාව හිතින් මවා ගන්න කො. නැති උන මූලාවයව කොටස තවමත් තියනව නං ඒක මේ කිට්ටුවපාත ම තියෙන්න ඕන. එක්කො ඒක මට විනාඩි දහයක් ඇතුළත හම්බ වෙන්න ඕන, එහෙම නැත්නම් ඒක හම්බ වෙන්නෙ ම නැහැ.
පැයක සෝදිසියකින් පස්සෙ කැඩ්ච්ච විදුලි බුබුළු කීපයක් (ඒව කොච්චරක් නැව්වලින් මුහුදට වීසි කරනව ද කියන එක පුදුම එළවන සුලුයි. ලෝකෙ මුහුදු පතුලවල් ඒවගෙන් වැහිලයි තියෙන්නෙ), හිස් බියර් බෝතලයක් (ඒ ගැන කියන්න වෙන්නෙත් ඒ කතාව මයි), සහ අලුත් ම අලුත් බූට් සපත්තුවක් හොයාගන්න මට පුළුවන් උනා. ඒ තමයි මම හොයාගත්ත අන්තිම දේ. මොකද, මම තවදුරටත් ඉන්නෙ තනියම නෙවෙයි කියල ඊළඟට මම හොයාගත්ත නිසා.
මම කොහොමටත් සෝනාරය නිවා දමන්නෙ නැහැ. ඒ වගේ ම එහා මෙහා නො යන වෙලාවෙට උනත් මං විනාඩියකට සැරයක් විතර තිරය දිහා බලල සාමාන්‍ය තත්ත්වය කොහොම ද කියල සෝදිසි කරල බලනව. දැන් ඇති වෙල තිබ්බ තත්ත්වේ තමයි, 'පොකිරිස්ස් තරම් ම ලොකු මොකක් හරි උතුරු පැත්තෙ ඉඳල එන්න පටන්ගෙන තිබුණ එක. මම දකිද්දී ඒක අඩි පන් සීයක් විතර සීමාවෙ ඉඳල හෙමින් කිට්ටු වෙමින් තිබුණ. මගේ විදුලි ආලෝකයන් නිවා දමපු මම, සැඩ පහරෙ සමබරව ඉන්න අව බලයෙන් දුවවමින් තිබුණ ජෙට් කපා හැරල දියවැල දිගේ පාවෙන්න උනා.
ෂපිරෝට කතා කරල මෙහෙ තව කවුරු හරි ඉන්නව කියන්න ඕනකම තිබුණ උනත්, තව තොරතුරු ටිකක් හොයාගන්නකං ඉවසල ඉන්න මං තීරණේ කරා. මේ තරං ගැඹුරෙ වැඩ කරන්න පුළුවන් කිමිදුම් යාත්‍රා තිබුණේ තව රටවල් තුනකට විතරයි. ඒ හැමෝත් එක්ක ම මට බොහොම හොඳ, සුහදශීලී සබඳතා තිබ්බා. එකපාර කලබල වෙලා අනවශ්‍ය දේශපාලන අවුලක පැටලෙන්න කොහොමත් ඕන නෑ.
සෝනාරය නැතුව ඉන්නව කියන්නෙ අන්ධ වෙලා ඉන්නව වගේ. ඒත් මම මෙතන ඉන්නව කියල හඟවන්න ඕන නැති නිසා අකැමැත්තෙන් උනත් ඒක වහල දාල මගේ ඇස් දෙකට පේන දෙයින් විතරක් යෑපෙන්න මට සිද්ධ උනා. මෙච්චර ගැඹුරෙ වැඩ කරන කවුරු උනත් විදුලි ආලෝකයක් පාවිච්චි කරන්න ඕන. ඒක නිසා ඒගොල්ලන්ට මාව පේන්න ගොඩක් කලින් මට ඒගොල්ලන්ව පේන්න ඕන. ඉතින් මං උණුසුම් වගේම නිහඬ පුංචි කුටියට වෙලා, බොහොම හොඳ අවධානයෙන් වගේ ම සුපරික්ෂාකාරී ව පිටත අන්ධකාරය දිහා බලාගෙන හිටියා. කොහොම නමුත් මං හිටියෙ එච්චරට ම හිතේ කරදරෙන් නෙවෙයි.
ඉස්සරවෙලා ම, හරියට ම කොච්චර දුරින් ද කියල කියන්න බැරි තැනකින් දුර්වල ආලෝකයක් පේන්න පටන් ගත්ත. ඒක ටිකින් ටික ලොකු උනා. ඒත් මගේ මනසට වටහගන්න පුළුවන් විදිහෙ හැඩයකට හැරෙන්න තවමත් ඒකට බැරි උනා. ඒකෙ විසිරුණු දිළිසීම ටිකින් ටික දිළිසෙන තිත් දහස් ගානක් බවට පත් උනා. අන්තිමේ දි ඒක පෙනුණෙ තාරකා මණ්ඩලයක් මගේ දිහාට පා වීගෙන එනව වගේ. ක්ෂීරපථයේ මැදට වෙන්න තියන ග්‍රහලෝකයක ඉඳන් බැලුව ම මන්දාකිණියේ තියන තාරකා වලාවන් පායන හැටි පේනව ඇත්තෙත් මේ වගේ.
නො දන්න දේවල්වලට මිනිස්සු බයයි කියන එක ඇත්තක් නෙවෙයි. මිනිස්සුන්ව බය කරන්න පුළුවන් ඔවුන් දන්න සහ දැනටමත් අත්විඳලා තියන දේවල්වලට විතරයි. මගේ දිහාට එන්නෙ මොකක් ද කියල හිතාගන්න මට පුළුවන්කමක් තිබුණෙ නැහැ. ඒත් මුහුදෙ ඉන්න මොන ම සතකුට වත් අඟල් හයක් ගණකම ඉස්තරම් ස්විස් යුධ සන්නාහ තහඩුවලින් වට වෙල ඉන්න මට අතක් තියන්න පුළුවන්කමක් නැහැ.
තමන් ගෙ ම ආලෝකයෙන් බබළමින් හිටිය ඒක වලාකුළු දෙකකට බෙදිල වෙන් වෙද්දි තිබුණෙ මම හිටිය තැනට ගොඩක් ම කිට්ටුවෙන්. ටිකින් ටික ඒ මොනාද කියල මගේ බුද්ධියට වැටහෙන්න පටන්ගත්ත. අන්ධකාර අගාධයේ ඉඳල මගේ දිහාට එමින් ඉන්නෙ සුන්දරත්වය සහ භීතිය කියන දෙක ම කියල මට තේරුම් ගියා.
මං ඉන්න තැනට කිට්ටු වෙමින් ඉන්නෙ විශාල දැල්ලො කියල දැනගත්තම මට ඉස්සරවෙලා ම දැනුණෙ භීතිය. ජෝ ගේ කතා ඔක්කොම මගේ ඔලුව ඇතුළේ දෝංකාර දෙන්න ගත්ත. ඊළඟට, සැලකිය යුතු තරමෙ බලාපොරොත්තු කඩ වීමකුත් එක්ක මට තේරුම් ගියේ උන් ගේ විශාලත්වය අඩි විස්සක් විතර විතරයි කියල. උන් 'පොකිරිස්සට' වැඩිය ටිකක් ලොකු උනාට උන් ගෙ බර ඒකෙ බරෙන් බොහොම සුළු කොටසක් විතරයි. මට කිසි ම හිංසාවක් කරන්න උන්ට බැහැ. ඒ ඇරත් උන් ගෙ තිබුණ විස්තර කරන්න බැරි තරමේ සුන්දරත්වය උන් ගෙ අනතුරුදායක බව පලවා හැරිය.
මේ කතාව විකාරයක් වගේ දැනෙයි. ඒත් ඒක තමයි ඇත්ත. මගේ සංචාරවල දි මං ලෝකෙ ඉන්න සත්තුන් ගෙන් වැඩි හරියක් දැකල තියනව. ඒත් දැන් මගේ ඉස්සරහ පා වි පා වි තියන බබළන භූත රූප වගේ දෙයක් නං මං කවදා වත් දැකල නැහැ. උන් ගෙ සිරුරු දිගේ ස්පන්දනය වෙමින් සහ නටමින් ගමන් කරන වෛවර්ණ ආලෝකයන් නිසා උන්ව පෙනුණෙ හරියට මැණික් කැටවලින් සැරසිල ඉන්නව වගේ. ඒව තත්පර දෙකකට වඩා එක විදිහට තිබුණෙ නැහැ. චංචල රසදිය චාපයන් වගේ දීප්තිමත් නිල් පාටින් දිළිසෙමින් තිබුණ පුල්ලි එකපාරට ම තාප දීප්ත නියොන් රතු පාටට මාරු උනා. ග්රාහිකාවන් පෙනුණෙ හරියට වතුර දිගේ ඇදීගෙන යන බබළන පබළු වැල් වගේ. එහෙමත් නැත්නම් රෑට අහසෙ ඉඳන් බැලුව ම අධිවේගී මාර්ගයක් දෙපැත්තෙ තියන පහන් කණුවල ආලෝකය පේනව වගේ. උන්ගෙ අතිවිශාල ඇස්, මේ පසුබිම් දීප්තියට වසන් වෙලා යන්තමින් පේන්න තිබුණ. අද්භූත විදිහට මනුස්ස ගතියක් වගේම බුද්ධිමත් බවකුත් තිබුණ ඒව දිළිසෙන මුතුවලින් හැදුණු ඔටුන්නක් වගේ රටාවකින් වට වෙලා තිබුණ.
මට සමාවෙන්න. ඒත් මට විස්තර කරන්න පුළුවන් ඉස්තරම් ම විදිහ තමයි ඔය. මේ සජීවී බහුරූපේක්ෂයන්ට සාධාරණේ ඉෂ්ඨ කරන්න පුළුවන් චිත්‍රපට කැමරාවකට විතරයි. මං කොයි තරම් වෙලාවක් උන් දිහා බලාගෙන හිටිය ද කියල නිච්චියක් නැහැ. ඔවුන් ගෙ බබළන අලංකාරයට කොච්චර වශී වෙලා හිටිය ද කියනව නං ඒ වෙනකොට මගේ මෙහෙයුම ගැනත් මට අමතක වෙලයි තිබුණෙ. උන් ගෙ සියුමැලි, කෙසඟ ග්රාහිකාවලින් ජාලය කඩන්න බැහැයි කියල හොඳට ම පේන්න තිබුණ. ඒත් මේ සත්තු මෙතනට ආපු එක බොහොම කුතුහලය දනවනසුලුයි. කාර්පකින් ඒකට සැක සහිතයි. කියල කියයි.
මං මුහුද මතුපිටට කතා කරන්න ලෑස්ති වෙච්ච වෙලාවෙ අදහගන්න බැරි දෙයක් දැක්ක. ඒක මෙච්චර වෙලාවක් මගේ ඇස් පනාපිට ම තිබිල තියනව. ඒත් මේ වෙනකං ම ඒ මොකක් ද කියල මං තේරුම් අරං තිබිල නැහැ.
දැල්ලො දෙන්න එකිනෙකා එක්ක කතා කරමින් ඉන්නව.
අර දිළිසෙන, ඉක්මනින් ඇති වෙලා නැති වෙලා යන රටාවන් අහඹු විදිහට ඇති වෙනව, නැතිවෙනව නෙවෙයි. ඒවගෙ 'බ්රෝණීඩ් වේ'වල හරි 'පිකඩිලි'වල හරි තියන ආලෝක සංඥා පුවරුවල තරම් ම අර්ථවත් බවක් තියනවයි කියල සහතික වෙන්න මට පුළුවන්. හැම තත්පර කීපයකට ම වතාවක් මුළුමනින් ම තේරුම් ගන්න පුළුවන් විදිහෙ රූපයක් දිස් උනා. ඒත් ඒ මොකක් ද කියල පහදගන්න කලින් ඒක මැකිල ගියා. නිතර දෙවේලෙ දකින බූවල්ලත් éණික ව පාට වෙනස් කරල උගේ හැඟීම් ප්‍රකාශ කරනව කියල මං දැනං හිටිය. ඒත් මේක ඊට වඩා ගොඩක් දියුණු දෙයක්. ඒක ඇත්ත ම සන්නිවේදන ක්‍රමයක්. මෙතන ඉන්නෙ එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කරමින් ඉන්නෙ සජීවී විදුලි ආලෝක සංඥා පුවරු දෙකක්.
'පොකිරිස්ස් ගෙ නො වරදින රූපයක් දැක්කම මගේ හිතේ තිබ්බ සැකේ අන්තිම බින්දුවත් නැති වෙලා ගියා. මම විද්‍යාඥයෙක් නො වුණත් මේ වෙලාවෙ මට දැනෙන්න ඇත්තෙ ලොකු සොයාගැනීමක් කරපු වෙලාවෙ නිවුටන්ට හරි අයින්ස්ටයින්ට හරි දැනිච්ච විදිහට මයි. මේක මාව ලෝක ප්‍රසිද්ධ කරයි.....
ඊළඟට, බොහොම අපූරු විදිහකට රූපය වෙනස් උනා. 'පොකිරිස්ස් ආයිත් පාරක් ඒ රූපෙ තිබ්බා. හැබැයි ටිකක් පොඩියට. ඒක ළඟින් තව ටිකක් පොඩියට අමුතු විදිහෙ රූප දෙකක් තිබ්බ. ඒව සමන්විත උනේ පොඩි කළු පාට තිත් දෙකක් වටේට විහිදිච්ච ඉරි දහයක රටාවකින්.
මම කිව්ව නෙ ස්විස් ජාතිකයො භාෂා තේරුම් ගන්න දක්ෂයි කියල. කොහොම උනත්, දැල්ලෙක් තමන්ට තමන්ව පේන විදිහ නිරූපනය කරන්නෙ මෙහෙමයි කියල තේරුම් ගන්න පොඩ්ඩක් ඔළුව පාවිච්චි කරන්න උනා. මට පේන්න තිබ්බේ දැන් තත්ත්වය නිරූපනය කරන දළ සටහනක්. ඒත් ඇයි දැල්ලො දෙන්නව රූපෙ මෙච්චර පුංචියට පෙන්නන්නේ?
ඒකට උත්තරයක් කල්පනා කරගන්න පුළුවන් වෙන්න කලින් තුන්වැනි දැල්ලෙක් ගේ රූපයක් සජීවී තිරය මත දර්ශනය උනා. මේක අති විශාලයි. ඒකත් එක්ක සංසන්දනය කරද්දි අනිත් රූප පෙනුණෙ ගොඩක් ම පොඩියට. සදාකාලික රාත්‍රිය පසුබිම් කරගෙන ඒ පණිවිඩය තත්පර කීපයක් පේන්න තිබ්බ. ඊළඟට ඒ පණිවිඩය පෙන්නපු දැල්ලා තමන් ගෙ සගයා මට තනි රකින්න තියල පුදුමාකාර වේගෙකින් පිට වෙලා ගියා.
දැන් ඒකෙ තේරුම හොඳට ම පැහැදිලියි. "දෙයියනේෘ" මං මට ම කියාගත්ත. "මාව ඒගොල්ලන්ට ආංබාං කරගන්න බැරි වෙයි කියල ඒගොල්ලො හිතනව. ඒගොල්ලො ගියේ ඒගොල්ලන් ගෙ 'ලොකු සහෝදරය'ව එක්කරගෙන එන්න".
ලොකු සහෝදරයට කරන්න පුළුවන් දේවල් ගැන ජෝ වොට්කින්ස්ට එයා ගෙ පරීක්ෂණවලිනුයි පත්තර කෑලිවලිනුයි ලැබිල තිබුණට වැඩිය හොඳ සාක්කි මට ලැබිල තිබුණ.
අන්න ඒකයි කාරණාව. මම එතන තවදුරටත්
රැඳිල නො ඉන්න තීරණේ කරපු එක ගැන ඔයගොල්ලො පුදුම වෙන එකක් නැහැ. ඒත්, යන්න කලින් මාත් ටිකක් කතා කරල යන්න ඕනි කියල මට හිතුණ.
ගොඩ වෙලාවක් අන්ධකාරයේ ම හිටිය නිසා මගේ විදුලි ආලෝකය කොච්චර ප්‍රබල ද කියල මට ම අමතක වෙලයි තිබුණෙ. ඒවගෙ එළියට මගේ ඇස් රිදෙන්න ගත්ත. අවාසනාවන්ත දැල්ලට ඒකෙන් දැනෙන්න ඇත්තෙ බොහොම කටුක වේදනාවක්. දරාගන්න බැරි දැඩි ආලෝකයෙන් භ්‍රාන්ත උන උගේ ආලෝකය සහ අලංකාරය සම්පූර්ණයෙන් ම නැති වෙලා ගිහින්, ඇස්වලට කළුපාට බොත්තම් දෙකක් තියන නිකං ම නිකං සුදුමැලි ජල්ලිමය පැසක් වගේ ඌව පේන්න ගත්ත. ටික වෙලාවක් යනකං ඌ හිටියෙ ඇතිවෙච්ච කම්පනය නිසා සිහි නැති වෙලා වගේ. ඊළඟට, මම ලොකු වෙනසක් සිද්ධ වෙන්න යන ලෝකයක් දිහාට ඉහළනගින අතරෙ ඌ තමන් ගෙ සගය ගිය දිහාට ම ඉක්මනින් පිට වෙලා යන්න ගියා.
"මට ඔයා ගෙ කඩාකප්පල්කාරයා හම්බ උනා." ඒගොල්ලො 'පොකිරිස්ස් ගෙ දොර ඇරපු වෙලාවෙ මම කාර්පකින්ට කිව්ව. "එයා ගැන විස්තර හැම එකක් ම දැනගන්න ඕන නං ජෝ වොට්කින්ස් ගෙන් අහල බලන්න."
ඔහු ගෙ මූණ වෙනස් වෙච්ච හැටි දැකල සතුටු වෙන ගමන්, ඒ ගැන ටිකක් ඔළුව වෙහෙසන්න මං දිමිත්‍රිට ඉඩ හැරිය. ඊළඟට මං ටිකක් වෙනස්කම් කරපු මගේ වාර්තාව දුන්න. කෙළින් ම එහෙම කියන්නෙ නැතුව, මට හමු උන දැල්ලො වෙලා තිබ්බ හානිය සිදු කරන්න තරම් ශක්තිමත් කියල මං මගේ වාර්තාවෙන් හැඟෙන්න ඇරිය. මං දැක්ක සංවාදය ගැන මොනාවත් ම කියන්න ගියේ නැහැ. ඒකෙන් වෙන්නෙ විශ්වාස කරන්න බැරි දෙයක් බවට ඒක පත් වෙන එක. ඒ ඇරත්, මේ ගැන හිතල බලන්න සහ පුළුවන් නං තවමත් පැහැදිලි නැති දේවල්වලට උත්තර හොයාගන්න මට ටිකක් කල් ඕන උනා.
රුසියානුවො දන්න තරමට වඩා වෙන මොනාවත් නො දන්නව උනත් ජෝ මේකට ලොකු උදව්වක් උනා. කොච්චර විස්මයජනක විදිහට සකස් උන ස්නායු පද්ධතියක් දැල්ලොන්ට තියනව ද කියල ඔහු මට කිව්ව. උන් ගෙන් සමහරක් තමන් ගෙ ඇඟ පුරා ම තියන අපූරු 'වර්ණධර' පාවිච්චි කරල තත්කාලීන තුන් පැහැ මුද්‍රණයෙන් තමන් ගේ පෙනුම éණික ව වෙනස් කරගන්න හැටි ඔහු විස්තර කරා. නොඅනුමාන ව ම මේ හැකියාව ඇති වෙන්න ඇත්තෙ වේෂාන්තරණයට උදව් වෙන්න. ඒත් ඒක සන්නිවේදන මාධ්‍යයක් විදිහට දියුණු වීම ස්වාභාවිකයි වගේ ම අනිවාර්යයෙන් ම සිදු විය යුතු දෙයක්.
ඒත් ජෝ ට තේරුම්ගන්න බැරි එක දෙයක් තියනව.
"උන් ජාලය ගාව කර කර හිටියෙ මොකක් ද?" ඔහු මගෙන් දිගින් දිගට ම අහනව. "උන් ශීත රුධිරය තියන අපෘෂ්ඨවංශිකයො. හරිනං උන් ආලෝකයට වගේ ම උණුසුමටත් අකැමැති වෙන්න ඕන."
ඒ ඇයි කියල ජෝට තේරුම් ගන්න බැහැ. ඒත් මට ඒ ඇයි කියල තේරෙනව. මේ අභිරහස විසඳන්න උදව් වෙන වැදගත් ම තොරතුරත් ඒකයි.
ඒ දැල්ලො 'ටි්රන්කො ඩීප්'වලට ඇවිල්ල තියෙන්නෙ මිනිස්සු දක්ෂිණ ධැවයට හරි හඳට හරි යන හේතුව නිසා මයි කියල මට විශ්වාසයි. පිරිසිදු විද්‍යත්මක කුතුහලය නිසා, කුරුබිලියේ පැත්තකින් පැනනගින මේ උණු දිය ගීසරය අධ්‍යයනය කරන්න තමන් ගෙ ශීත නිවහනෙන් එළියට උන් ඇදිල එන්න ඇති. මේ තියෙන්නෙ අමුතු සහ පැහැදිලි කල නොහැකි සංසිද්ධියක්. සමහර විට මේක උන් ජීවත් වෙන පිළිවෙළට තර්ජනයක් වෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඔවුන් තමන් ගෙ යෝධ ඥාති සහෝදරයට (සේවකයා? වහලා:) කියල අධ්‍යයනය කරන්න ඒකෙන් කොටසක් ගෙන්න ගන්නව. ඒ මොකක් ද කියල ඒගොල්ලො තේරුම්ගනී කියල මං හිතන්නෙ නෑ. දැනට සියවසකට කලින් හිටිය විද්‍යාඥයෙකුට වත් ඒක කරන්න පුළුවන් වෙන්නෙ නැහැ. ඒත් ඒගොල්ලො උත්සාහ කරනව. ඒකයි වැදගත්.
හෙට අපි අපේ බාධක උපායන් යොදන්න පටන් ගන්නවා. දැල්ලොන්ව ඈත් කරල තියන්න සමත් වෙයි කියල ෂපිරෝ හිතන විශාල විදුලි ආලෝක සවි කරන්න මම ආයිත් 'ටි්රන්කො ඩීප්' වෙත යනවා. ඒත් බුද්ධිය ගැඹුරු මුහුදේ ඇති වෙමින් තියනව නං ඒ උපක්‍රමය කොච්චර කාලයක් වැඩ කරයි ද?
මම මේක පටිගත කරන්නෙ ත්‍රිකුණාමලය බළකොටුවෙ පුරාණ ආරක්ෂක පවුර පාමුල වාඩි වෙලා, ඉන්දියානු සාගරයට ඉහළින් හඳ පායන හැටි බලාගෙන ඉන්න ගමන්. හැම දේ ම හොඳින් සිද්ධ උනොත්, මේක ජෝ මට ලියන්න කියල වද කරමින් ඉන්න පොතට ආරම්භයක් සපයල දෙයි. එහෙම නො වුණොත් - එහෙනං, හෙලෝ ජෝ, මං දැන් කතා කරන්නෙ ඔයාට. කරුණාකරල මේක ප්රකාශනය කරන්න ඔයාට හොඳයි කියල හිතෙන විදිහට සංස්කරණය කරන්න. ඒ වගේ ම තොරතුරු හැම එකක් ම නො දීම ගැන මම ඔබෙන් සහ ලෙව් ගෙන් සමාව ඉල්ලනව. ඒ ඇයි කියල දැන් ඔයගොල්ලන්ට තේරෙනව ඇති.
මොන දේ සිද්ධ උනත්, කරුණාකරල මේක මතක තියාගන්න. ඒ අය ලස්සන, චමත්කාරජනක සත්ත්වයො. ඔයාලට පුළුවන්නම් ඒ අයත් එක්ක සමාදානෙන් ඉන්න.
*** *** *** ***
වෙත: බලශක්ති අමාත්‍යංශය, මොස්කව්
විසින්: ලෙව් ෂපිරෝ, ප්‍රධාන ඉංජිනේරු, ත්‍රිකුණාමලය තාප විදුලි ව්‍යාපෘතිය.
හර් ක්ලවුස් මුලර් ගේ අවසාන කිමිදුමෙන් පසු ඔහු ගේ බඩුබාහිරාදිය අතර තිබී සොයාගත් පටිගත කිරීමේ සම්පූර්ණ අත් පිටපත මේ සමග ඇත. වැදගත් කරුණු කිහිපයක් නිරාකරණය කරගැනීම සඳහා සහාය ලබා දීම පිළිබඳව ටයිම්ස් පුවත්පතේ ජෝ වොට්කින්ස් මහතාට අපි බොහෝ කෘතඥපූර්වක වෙමු.
හර් මුලර් ගේ අවසාන තේරුම්ගත හැකි පණිවිඩය යොමු කෙරුණේ වොට්කින්ස් මහතාට බවත් එය පහත පරිදි බවත් ඔබලාට මතක ඇතැයි සිතමි.
"ජෝ! මෙල්විල් ගැන ඔයා කියපු කතාව හරි! මේ සතා අති විශාලයි"
නිමි.
(ආතර් සී. ක්ලාක් විසින්, 1962 දී රචිත "The Shining Ones" කතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි)
පරිවර්තනය
කෝසල තෙන්නකෝන්
උපුටා ගැනීම විදුසර වෙබ් අඩවිය
.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment