ඔයා හරි මේඝා, ඊජිප්තුවේ පිරමීඩවල තියෙන්නෙ අපේ ග්‍රහලෝකවල ජීවීන් ගේ රූප තමයි." ඇගේ සිතුම් පැතුම් තේරුම්ගත් එක් සුනඛ මනුෂ්‍යයෙක් පිළිතුරු දුනි.
මේඝා විශ්වනාත් ඇගේ සුරතල් බල්ලා වූ සැන්ඩි සමග හිමිදිරියේ අවිදින්නට ගියා ය. එය ඇගේ දින චර්යාවේ කොටසකි. තෘතීයික අධ්‍යාපනය ලබන වයසක සිටි මේඝා, එක් අතක සැන්ඩි ගේ දම්වැල පටලවාගෙන අනෙක් අතින් සිය ජංගම දුරකථනය පිරික්‌සමින් සිටියා ය. සැන්ඩි එහෙ මෙහෙ ඉව අල්ලමින්, අතන මෙතන හොම්බ ඔබමින් නිවී සැනසිල්ලේ සිය දෛනික රාජකාරි කරගෙන ගියේ ය. ඒ උගේ සාමාන්‍ය චර්යාවයි. එහෙත් එදින උදෑසන, සැන්ඩි තරමක් කලබලකාරී ලෙස යමක් සොයන බව මේඝාට දැනුණේ, ඇගේ අතෙහි පටලැවී තිබුණු දම්වැල නිතර නිතර ඇදෙන්නට වූ බැවිනි.
"දැන් මොකක් ද?" මේඝා නො ඉවසිලිමත් ව සැන්ඩි දෙස නෙත් යොමමින් විමසුවා ය. සැන්ඩි උගේ නකුට පහත දමමින් ඉතා දුක්‌මුසු ලීලාවෙන් කෙඳිරිගාන්නට විය. මේඝාට දුක සිතිණි. ඇය උගේ දම්වැල මඳක් ලිහිල් කර ඌට වට පිට පිරීක්‌සීමට ඉඩ දුනි. සැන්ඩි නො ඉවසිලිමත්ව බිම පහුරුගාන්නට විය. ඌට පෙර එතැන වෙනත් බල්ලකු පහුරුගා ඇති බව, එහි පස් බුරුල් ව ඇවිස්‌සී තිබුණු රටාවෙන් මේඝා තේරුම් ගත්තා ය. සැන්ඩි ඉව අල්ලමින් මීටරයක් පමණ ඉදිරියට ගොස් නැවතී, වේගයෙන් පස් හාරන්නට විය. සැන්ඩි ප්‍රීතියෙන් නගුට වනමින්, විටෙක බුරන්නට ද, විටෙක හාරන්නට ද විය.
සැන්ඩි සහ මේඝාට නො දැනෙන්නට වෙනත් බලු රෑනක් එතනට ආකර්ෂණය වෙමින් සිටිය හ. මේඝා උන් එලවන්නට උත්සාහ කළා ය. එහෙත් උහු ඇයට බුරමින්, නපුරු ලෙස දත් විළිස්‌සමින් සැන්ඩිට කිට්‌ටු කළ හ. මේ වන විට සැන්ඩි, තමන් විසින් හාරන ලද, කිරිගරුඩන් සෑදුණු, මස් කටුවක් වැන්නක් කටේ තියාගෙන බියෙන් මුල්ලකට ගුලි ගැසුණේ ය. එම කිරිගරුඩ මස් කටුව ගැනීමට පහළොවක පමණ බලු රංචුවක් එතනට ඇදී එන්නට විය. මේඝා වහා සැන්ඩි දෙසට දිව ගියේ සිය සුරතලා බලු ප්‍රහාරයකින් බේරාගැනීමේ අටියෙනි. එහෙත් මේඝා දිව එත් ම මෙතෙක් වේලා බියෙන් ගුලි වී සිටි සැන්ඩි හනික නැගිට, උගේ කටේ තිබුණු කිරිගරුඩ කටුව බිම තැබී ය. ඉන්පසුව ඉදිරි පාද දෙක ඉදිරියට දිගු කර කටුව ස්‌පර්ශ කරමින්, හිස නමා වැන්දේ ය. එයින් තැතිගත් අනෙක් බල්ලෝ ද, සිය වලිග පහත් කරමින්, සැන්ඩි හැරුණු දෙසට හැරෙමින්, තම ඉදිරි පාද ඉදිරියට දික් කර හිස නමා ආචාර කළ හ.
මේඝා සැන්ඩි ගේ දම්වැල අතට ගෙන තදින් අදිමින් "මේ මොන කෝලමක් ද? සැන්ඩි දැන් ගෙදර යන්. මට පරක්‌කු වෙනවා" යි පැවසුවේ කුතුහලයෙන්, සැන්ඩි ඇතුළු බලු රැළ ආචාර කරන්නේ කවරකුට දැයි හැරී බලමිනි.
ඇය දුටුවේ, හොඳට ම අසනීප වූ, ලොම් හැළුණු, ඇග කසන ලෙඩ බල්ලෙකි. ඒත් උගේ ඇස් අමුතු දීප්තියකින් බැබළිණි. මේඝාට අමුත්තක් දැනිණි. මුළු බලු රෑන ම මේ ලෙඩ බල්ලාට නමස්‌කාර පූර්වකව සිටියි. ඇය එතැනින් වහා නික්‌මිය යුතු යෑයි සිතා, සැන්ඩි ගේ දම්වැල තදින් ඇද්දා ය.
..... ...... ....... ........ ........
මේඝාට කිසිවක් සිතාගත නොහැකි විය. තමන් යම් පෘෂ්ඨයක් මත අසිහියෙන් මෙන් වැතිර සිටින බව ඇයට තේරුම් ගියේ ය.
"අම්මෝ, ඇති යාන්තම්! ඇයි ඔයා මගේ දම්වැලෙන් ඇද්දෙ? මම හිතුවා මේඝා ඔයා ඉවරයි කියලා! එක් කටහඩක් පැවසී ය.
"මේ සත්ත්වයා කොයින් ද? තවෙකකු අසනු ඇසිණි.
"දෙන්න ම පෘථිවියෙන්. මනු සතා වැරැදීමකින් ආවේ" තවෙකෙක් කී ය.
"කොයි පෘථිවියෙන් ද? කොයි කාලයෙන් ද?" පළමු කටහඩ නැවතත් ඇසී ය.
"ක්‌ෂීරපථ මන්දාකිණියෙන්. ක්‍රිස්‌තු වර්ෂ කාල තලයෙන්" අනෙකා පිළිතුරු දුනි.
"අපෝ, තාම ක්‍රිස්‌තු වර්ෂ නම් හරි ප්‍රාථමික පෘථිවියක්!" පළමුවැන්නා පැවසී ය.
මේඝා භීතියෙන් ඇළලුණේ තමා වෙනත් ග්‍රහලොවක් මත සිටින බව අවට කථා බහෙන් තේරුම් ගිය බැවිනි.
පිටසක්‌වළ ග්‍රහලෝක පිළිබඳව ඇය අසා තිබුණ ද ඒ කිසිවක් ඇය විශ්වාස නො කළා ය. ඇය වැරෙන් දැස් විවෘත කිරීමට උත්සාහ ගත්තා ය. මුල දී ඇගේ පෙනීම බොඳ ව තිබිණි. ඈ අසබඩ උස මිනිස් සේයාවන් කිහිපයක් විය. ඇගේ ගෙල සහ මුහුණ හුරු පුරුදු ලෙවකෑමකට ලක් වන්නට විය.
"සැන්ඩි, ඇති ඇති," තමාව ලෙවකන්නේ සැන්ඩි යෑයි තේරුම්ගත් මේඝා, ඌ ඉවතට තල්ලු කිරීමට උත්සාහ කළා ය. ඇගේ පෙනීම තත්ත්පරයෙන් තත්ත්පරය වැඩිදියුණු විය. ඇයට පෙනීම ලැබුණ විට දකින්නට ලැබුණේ මහත් අත්භූත දේවල් ය. ඇය වටා, මිනිසුන් මෙන් දෙපයින් සිටගත් සත්ත්වයෝ දෙදෙනෙක් වූ හ. ඔවුන් වානරයන් ද නො වී ය. ඔවුන් ගේ මුහුණු සුනඛයන් ගේ මුහුණු මෙන් විය. ඔවුන් ගේ ඉහළට එසවුණු ත්‍රිකෝණාකාර කන් දෙක සහ දිගටි හොම්බ දුටු මේඝාට, ඊජිප්තුවේ පිරමීඩවල ඇති මනුෂ්‍ය-සුනඛ රූප මතක් විය.
"ඔයා හරි මේඝා, ඊජිප්තුවේ පිරමීඩවල තියෙන්නෙ අපේ ග්‍රහලෝකවල ජීවීන් ගේ රූප තමයි." ඇගේ සිතුම් පැතුම් තේරුම්ගත් එක් සුනඛ මනුෂ්‍යයෙක් පිළිතුරු දුනි. ඔහු ගේ කටහඩ ඉතා කාරුණික විය. එහෙත් ඇය තිගැස්‌සිණි. ඇය කෙළින් වී වාඩි ගත්තා ය.
"මම මේ කොහේ ද? කොහොම ද මෙතනට ආවේ?" ඇය සැරෙන් විමසුවා ය. ඇය අවට සියලු දේ කළු, සුදු හෝ අළු විය.
"පෘථිවි අහසේ ඔරායන් කියලා තාරකා රාශියක් තියෙනවා නේ ද? ඒ ළග ම එයා ගේ බල්ලා, ඒ කීවේ සීරියස් ගේ තාරකා රාශිය තියෙනවා. ඔයා ඉන්නේ ඒ තාරකා රාශියේ එක්‌තරා සෞරග්‍රහ මණ්‌ඩලයක එක්‌තරා ග්‍රහලෝකයක. මේ තාරකා රාශියේ ඇති සියලු ම ජීවී ග්‍රහයන් මත සුනඛයන් වාසය කරනවා. මේවා සුනඛ ග්‍රහලෝක"
සුනඛ මනුෂ්‍යයකු කළ ඒ පැහැදිලි කිරීමට මේඝා වික්‌ෂිප්ත විය.
"ඊජිප්තුවේ පිරමීඩවල තියෙන්නේ අපේ සුනඛයන් ඔබේ ග්‍රහලොව සමග ගනුදෙනු කරපු වේලාවක ඇඳුණු සිත්තම්. සීරියස්‌වල සුනඛ ග්‍රහලෝක තියෙනවා වගේ ම, ඔරායන්වල මනුෂ්‍ය ග්‍රහලෝක ගොඩාක් තියෙනවා. අපේ සුනඛ ග්‍රහයන් සහ ඔරායන් ගේ මනුෂ්‍ය ග්‍රහයන් හැම එකක් ම වාගේ ඔබේ පෘථිවියට වඩා ගොඩාක් දියුණුයි. මිනිසා ගේ හොඳ යාළුවා කියන්නේ බල්ලාටයි. මේ අපූරු විශ්වීය සිද්ධාන්තය අන්තර් ග්‍රහලෝක මට්‌ටමෙන් විතරක් නෙමෙයි, තාරකා රාශි මට්‌ටමෙන් පවා පිළිබිඹු වෙනවා. ඔරායන් ළගින් ම සීරියස් ඉන්නේ ඒ නිසයි."
"මම මෙතනට ආවේ කොහොම ද?" අන්තර් ග්‍රහලෝක සම්බන්ධතාව ගැන එතරම් උනන්දුවක් නො දැක්‌වූ මේඝා ඇසී ය.
"ඒක වැරදීමක්". ඇයට පිළිතුරු ලැබුණේ සැන්ඩිගෙනිෘ
"සැන්ඩි ඔයා කථා කෙරුවා?!! මේඝා ගේ දුඹුරු නෙත් කවදා වත් නැති තරමට පුදුමයෙන් විසල් වී තිබිණි.
"මට හැම දා ම කථා කරන්න පුළුවන් වෙලයි තිබුණේ. ප්‍රශ්නයකට තිබුණේ, ඔයාට ඒක තේරුම්ගන්න බැරි එක විතරයි." සැන්ඩි පණ්‌ඩිතකම ප්‍රදර්ශනය කරමින් පැහැදිලි කරන්නට විය.
"ඉන්න, මම උදාහරණයක් එක්‌ක ම කියන්නම්. පෘථිවියේ තියෙන සමහර මල්වලින් දෘෂ්‍ය පරාසයේ ආලෝක කිරණවලට අමතරව දෘෂ්‍ය නො වන පරාසයේ කිරණත් නිකුත් වෙනවා. නමුත් මේඝා, මිනිසුන්ට පේන්නේ දෘෂ්‍ය පරාසය විතරයි. ඔයගොල්ලන්ට නො පෙනෙන සමහර පාට කෘමීන්ට පේනවා. ඒ වගේ අපේ භාෂාව ඔයාට ගෝචර නො වෙන්නේ, ඊට අවශ්‍ය අවයව ඔයාට නැති නිසයි. නමුත් දැනට අපි ඔයාට අපේ භාෂාව ගෝචර වන අවයව දෙකක් සවි කරා. ඔයා ගේ කන් අල්ලලා බලන්න. අමුත්තක් දැනෙනවා ද?" සැන්ඩි ගේ ඒ ප්‍රකාශයෙන් තැතිගත් මේඝා හනික ඇගේ කන් අතගා බැලී ය.
"දෙවියනේ, මේ මොනා ද?" ඇගේ කන් සුනඛයන් ගේ මෙන් උල් වී තිබිණි. ඒවායේ ලොම් පිරී තිබිණි.
පංචෙන්ද්‍රියයන් ගෙන් මනුෂ්‍යයන් ගේ දියුණුතම අවයවය වෙන්නේ ඇස්. ඕගොල්ලන් ගෙ මොළය වැඩියෙන් ගනුදෙනු කරන්නෙ ආලෝක ශක්‌තියත් එක්‌කයි. ඔයගොල්ලෝ දකින දේ රූප බවට පරිවර්තනය වෙලා මොළයට යෑවෙනවා. මනුෂ්‍යයන් වර්ණවලට සංවේදියි. නමුත් මෙහෙ ඉන්න සුනඛයන් ගේ මොළ මීට වඩා දියුණුයි. අපි ගනුදෙනු කරන්නේ ශබ්ද ශක්‌තියක් එක්‌කයි. අපේ වර්ණ හඳුනාගැනීමේ හැකියාව හරි සීමිතයි. ඒ නිසා අපේ ලෝකයේ හැම දෙයක් ම කළු, සුදු හෝ අළු පාටයි. නමුත් අපිට ශබ්දය ඉතා දියුණු ලෙස ගෝචර වෙනවා". සුනඛ මනුෂ්‍යයෙක් විස්‌තර කළේ ය. මේඝා ගේ මනස වියවුල් වෙමින් පැවතිණි.
"බලන්න. අපේ වෛද්‍ය විද්‍යාව, ප්‍රවාහනය, ගවේෂණය, බලශක්‌ති උත්පාදනය ආදී හැම දෙයක් ම පාලනය වෙන්නෙ ශබ්දයෙන්. උදාහරණයක් විදිහට, ඔයගොල්ලො පිළිකා සෛල නිරීක්‌ෂණය කරන්නෙ මොකක් හරි ස්‌කෑන් එකකින් එන පිංතූර බලලා. නමුත් අපි එවැනි අසාමාන්‍යතා හඳුනාගන්නේ, ඒ පිළිකා සෛලවල ගහනය වර්ධනය වන විට නිකුත් කරන ඉතා සියුම් ශබ්ද තරංග අධ්‍යයනය කරලා. අපි ඒවා විනාශ කරන්නෙත් ශබ්ද ප්‍රතිකාරවලින්. ඔබ ෆොසිල ඉන්ධන භාවිතයෙන් බලශක්‌තිය උපදවන්නේ ආලෝක ශක්‌තිය නිෂ්පාදනය කරන්නයි. අපි එය පාවිච්චි කරන්නේ ශබ්ද ශක්‌තිය උත්පාදනය කරන්නයි. ඔබට වගේ අපිට දිවා රෑ බලපාන්නෙ නැහැ. ඔබට රෑ පෙනීම නැහැ, දවසේ සැලකිය යුතු වේලාවක් ඔබ අඳුරේ ගෙවන නිසා. ඒ වගේ අවස්‌ථාවල දී මිනිස් මොළයේ වැඩ කිරීමේ හැකියාව සීමිත වෙනවා. ඔබේ ඵලදායිතාව රෑට අඩුයි. නමුත් අපිට ඕනෑ ම වෙලාවක වැඩ කරන්න පුළුවන්, ශබ්දය ඕනෑ ම වේලාවක තියෙන නිසා අපි දවස පුරා වැඩ කරනවා. ඒ නිසා අපේ ඵලදායිතාව ඔබට සාපේක්‌ෂව වැඩියි. ඔබේ අක්‌ෂර ඇහැට පෙනෙන අකුරු. අපේ අක්‌ෂර පුංචි පුංචි ශබ්ද පැකට් ජාතියක්."
මේඝා ගේ හිස භ්‍රමණය වන්නට විය. ඇයට දැඩි තිබහක් ද දැනිණි. ඈට ඉහළින් ත්‍රිමාන අවකාශයේ විහිදුණු සිරස් සහ තිරස් ඉමක් නො පෙනෙන නාළ පද්ධතියක් විය. පිපාසය සංසිඳුවාගැනීමේ බලාපොරොත්තුව ඇති ව, ඇය නාළ පද්ධතියට දැත දිගු කරමින්, "අර මොනව ද? වතුර බට ද?"යි විමසුවා ය.
සැන්ඩි බිම පෙරළෙමින් සිනාසිණි. ඇගේ පිපාසය තේරුම්ගත් සුනඛ මනුෂ්‍යයෙක් ඇයට පානය කිරීමට වහා නැවුම් ජලය ලබා දුනි. සුනඛ මනුෂ්‍යයන් ජලය පානය කළේ, සුනඛයන් මෙන් දිවෙන් ලෙවකමිනි.
"ඒ අපේ ප්‍රවාහන පද්ධතිය මිසක්. ජල වහන පද්ධතියක් නො වෙයි මේඝා! සුනඛ මනුෂ්‍යයෙක් උපහාසයෙන් පැවසී ය.
"පරමාණුවක න්‍යෂ්ටිය වටා විවිධ ශක්‌ති මට්‌ටම් තියෙනවා. ඒ වගේ. අපේ මේ ප්‍රවාහන පද්ධතියක් විවිධ වේග නාළවලින් යුක්‌තයි. පහළ තියෙන්නේ අඩුවේගී නාළ. ඉහළට යන්න යන්න තියෙන්නේ අධිවේගී නාළ. මේ වේග නාළ පද්ධතියේ න්‍යෂ්ටියෙන් නාළ පද්ධතියට ශබ්ද ශක්‌තිය සපයනවා. නාළය තුළ මේ ශබ්ද ශක්‌තිය චාලක ශක්‌තිය බවට පරිවර්තනය වෙනවා. මේ හැම නාළයක් ඇතුළත ම, එකක් පස එකක් ලෙස පිහිටන සුඛෝපභෝගී ආසන තියෙනවා. ඔයාට කොහෙ හරි යන්න ඕනේ නම්, ඔයාට කැමති වේග නාළයක ආසනයකට ගොඩ වෙන්න පුළුවන්. ඔයගොල්ලො වගේ අපි ප්‍රවාහනය සඳහ ඉන්ධන පුච්ච පුච්ච පරිසරය දූෂණය කරන්නෙ නැහැ." ඔහු තවදුරටත් විස්‌තර කළේ ය.
සුනඛ මනුෂ්‍යයා ආනාවරණය කළ විස්‌මයජනක කථාවලින් මේඝා මුසපත් ව සිටියා ය.
"සැන්ඩි පණ්‌ඩිතයට ගණන් හදන්න, ලියන්න පුළුවන් ද?"
ඇය සැන්ඩිව ආදරයෙන් පිරිමදිමින් සුනඛ මනුෂ්‍යයකු ගෙන් විචාළා ය.
"සැන්ඩි ඒ තරම් දියුණ නැහැ. නමුත් අපි දියිණුයි. අපේ සුනඛ මුතුන් මිත්තන් පරිණාමයේ යම් අවස්‌ථාවක දෙපයින් සිටගත්තා. එතකොට අපේ ඉදිරි ගාත නිදහස් වුණා. ඔබේ අත් වගේ අපේ අත් නිදහස්. ඒ නිසා ඒවා හසුරුවලා අපිට විවිධ වැඩ කිරීමේ හැකියාව ලැබුණා. ඒ වගේ ම, දෙපයින් සිටගත් විට අපේ කන් මට්‌ටම සහ හිස ඉහළ තලයකට ගෙන්න අපිට පුළුවන් වුණා. ඒ නිසා අපිට පරිසර නිකේත විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කරන්න හැකියාව ලැබුණා. සුනඛ සිවුපාවුන්ට වඩා සුනඛ දෙපාවන් දියුණුයි. සුනඛ දෙපාවන් මනුෂ්‍යයන්ටත් වඩා දියුණුයි. ඔයගොල්ලෝ Homo sapiens නේ. ඔයගොල්ලන් ගේ නාමකරණය අනුව අපි Homo canine කියලා හඳුන්වන්න පුළුවන්"
තව දෙයක්. මේ විශ්වයේ රහස් තේරුම්ගෙන යථාර්ථය තේරුම්ගන්න නම්, අපේ මොළයත් ගොඩක් දියුණු වෙන්න ඕනේ. මොළය ගොඩාක් දියුණු වෙන්න නම්, මොළයට තොරතුරු සපයන ප්‍රධාන ඉන්ද්‍රියන් පහ ම, එනම් ඇහැ කන, නාසය, දිව සහ හම දියුණු වෙන්න ඕනේ. මනුෂ්‍ය ඔබේ දියුණු ඇස් විතරයි. අපේ කන් ඉතා තියුණුයි. යම් ජීවියකු ගේ ඉන්ද්‍රියන් පහ ම දියුණු නම්, ඒ ජීවියා විශ්වයේ පරම සත්‍යය අවබෝධ කරගන්නවා."
"මට දැන්ම ඔය කියන පරම සත්‍යය දකින්න ඕනෙ නැහැ." මේඝා දනි - පනි ගා නැගිට්‌ටා ය. "මට මෙහෙන් යන්න ඕනේ. ඉක්‌මනට. සැන්ඩි යං. ඔයා මාව මෙහෙ ගෙනාවා නම් මෙහෙන් යන්නත් ක්‍රමයක් දන්නවා ඇති"
"මේඝා ඔයා මෙහෙ ආවේ වැරදීමකින්. ඔයා විතරයි ආපහු යන්නේ. මම මෙහේ ඉන්න ආවේ". සැන්ඩි පිළිතුරු දුනි. "බල්ලකුට මේ වගේ දියුණු සුනඛ ග්‍රහලොවක ඉපදෙන්න ගොඩක් පින් කරන්න ඕනේ. මට මේ හම්බ වුණේ පිනා චාන්ස් එකක්"
"ඔයා පින් කරනව ද? ඔයා පෙරේදත් ලේනෙක් මරනවා මම දැක්‌කා. මෙන්න මෙහෙ එන්න සැන්ඩි කෝලම් නො කර. මම නො දන්න ඔයා ගෙ පින්ෘ මේඝා අමනාපයෙන් පැවසුවා ය.
"මේඝා, සැන්ඩි අපිට ලොකු උදව්වක් කරා. එයාට ප්‍රතිඋපකාර විදිහට මොනව ද ඕනේ කියලා ඇහුවහම, එයා කිව්වා එයාට අපේ සුනඛ ග්‍රහලෝකයේ පදිංචි වෙන්න අවසර දෙන්න කියලා. අපි එයාව මෙහෙ ගෙන්නගත්තේ ඒ විදිහටයි."
ඒ මොකක් ද ඒ උදව්ව? මේඝා විමසී ය.
"අපේ මේ ග්‍රහලෝකයට අයත් උපග්‍රහයන් දෙකක් තියෙනවා. ඒවායේ සැන්ඩි ගේ වර්ගයේ බලු ගහන ඉන්නවා. එහි සුනඛ දෙපාවන් නැහැ. මේ බලු ගහණ ලෙඩ රෝගවලින් තොරයි. ආයු කාලයත් වැඩියි. ඒ නිසා ඔවුන් ගේ ගහණය වෙගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා මේ සත්ත්වයන් අතරේ, ආහාර ඉඩකඩ වැනි සම්පත් සඳහා දරුණු ගැටුම් ඇති වෙලා තියෙනවා. ඒ උපග්‍රහයන් මහා සටන් බිම් වගෙයි. ඉතින් අපි තීරණය කරා ඒවායේ සිවුපා ගහන පාලනය කරන්න. අපි අහඹු ලෙස වෙනත් ග්‍රහලෝකවල සංචාරය කරලා ඒවායේ සිවුපා ගහන පාලනය වන විදිහ අධ්‍යයනය කරා. අපේ එක්‌කෙනෙක්‌ට සැන්ඩිව හම්බ වුණේ එහෙමයි. අපි වෙස් මාරු කරගෙන සුනඛ සිවුපාවුන් විදිහටයි ඔබේ ලෝකයට ආවේ. සැන්ඩි අපිට හොඳ රෝග කිහිපයක් හඳුන්වලා දුන්නා. අපේ සිවු දෙනෙක් ඒ රෝග හදාගෙන, වාහකයන් විදිහට ඒ උපග්‍රහයින්ට යන්න ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඒක මහගු පුණ්‍යකර්මයක්. ජීවිත පූජාවක්" සුනඛ මනුෂ්‍යයා සංවේදී විය. සැන්ඩි ද හිස බිමට පහත් කරගෙන සිටියේ ය.
"එයා පෘථිවියෙන් නික්‌මෙන්න කලින් සැන්ඩිට වුණ පොරොන්දුව ඉටු කරා. සැන්ඩිට අපේ ලෝකයට එන්න පුළුවන් යතුරක් කිරි ගරුඩ මස් කටුවක් ඇතුළෙ හංගලා දුන්නා. නමුත් අවාසනාවට, සැන්ඩිට කලින් වෙනත් අය ඒක හොරකම් කරලා. ඒත් ඒක පාවිච්චි කරන්න දන්නෙ නැති නිසා, ඒක ආයෙත් හංගලා තිබ්බා. සැන්ඩි ඒක ගොඩගත්ත ම උන් ආයේ සැන්ඩිව හොයාගෙන ආවේ, ඒ යතුර පාවිච්චි කරන විදිහ සැන්ඩි ගෙන් බලහත්කාරයෙන් දැනගෙන, උන් මෙහෙ එන්න. මේ කලබලය දැකපු සගය සැන්ඩිව බේරාගන්න එතනට ආවා. ඔහු ඒ වන විටත් රෝග වාහකයෙක්. ඔයා දැකපු ලෙඩ බල්ලා තමයි එයා."
"එහෙනම් බල්ලො ඔක්‌කොම එයාට වැන්දේ ඇයි? මේඝා විමසුවා ය.
"සුනඛ සිව්පාවුන්ට වඩා සුනඛ දෙපාවන් උසස්. මනුෂ්‍යයන්ටත් වඩා උසස්. අපිට වඩා පහත් සතුන් අපිට වන්දනාමාන කරනවා. ඒ, ඔවුන් ගේ ගෞරවය පාන්නයි."
"මම මෙහෙ ආවේ කොහොම ද? මේඝා ඒ පැනය විචාළේ තෙවැනි වතාවට ය.
"මම මෙහාට ප්‍රවාහනය වෙන කොට ඔයා මගේ දම්වැල අල්ලාගෙනයි හිටියේ. ඒ වෙලාවේ මට සම්බන්ධව හිටින හැම සජීවී දෙයක් ම මෙහාට ප්‍රවාහනය වෙනවා. එහෙම වැරදීමකින් ආපු දේවල් ආපහු යවන්නත් පුළුවන්." සැන්ඩි විස්‌තර කළේ ය.
"මේඝා, අපි ඔයාට විශේෂ වරප්‍රසාද දෙකක් කියන්නම්, ඔයා ඒකෙන් කැමැති එකක් තෝරාගන්න. එකක් ඔයාට මේ සියලු දේ හොඳින් මතක තියාගෙන පෘථිවියට යන්න පුළුවන්. දෙක මේ සියල්ල අමතක කර පෘථිවියට යන්න පුළුවන්" සුනඛ මනුෂ්‍යයෙක් ඈට විස්‌තර කළේ ය.
මේඝා මඳක් කල්පනා කළා ය. "මට මේ ග්‍රහලෝකය ගැන ඔක්‌කොම මතක තිබුණොත්, මට ආපහු මෙහේ එන්න හිතේ වි. ඒක කරදරයක්. මට ඔක්‌කෝම අමතක වුණොත්, සැන්ඩි අතුරුදන් වුණා කියලා මම ගොඩක් දුක් වේ වි. මම එයාව හොයන්න උත්සාහ කරා වි. ඒකත් කරදරයක්. ඒ නිසා මට ඔය මතකය සහ අමතක වීම අතර තියෙන අතරමැදි මතකයක් ලබා දෙන්න"
"අයියෝ මේඝා, ඔයා එහෙටත් නැති මෙහෙටත් නැති මතකය නිසා ගොඩක් පීඩා වීඳී වි." සැන්ඩි අවවාද කළේ ය.
මේඝා, ඒ සැන්ඩිව දුටු අවසාන අවස්‌ථාවයි. ඇගේ ඇස් වැසිණි. ඇගේ හිස භ්‍රමණය වන බවක් හැගිණි.
"ඒ Homo sapiens විශේෂයේ හැටියක්. ඒ ගොල්ලො ගන්න තීරණ බොහොමයක් ඔය විදිහයි. එහෙටත් නැහැ. මෙහෙටත් නැහැ." ඈට යම් කටහඩක් ඈත සිට පවසනු ඇසිණි.
Ô Ô Ô Ô Ô Ô
මේඝා ඇස් විවෘත කර බලන විට, ඇය මඩ ගොඩක් මත ලිස්‌සා වැටී ඇති බව ඈට පෙනිණි. ඈ වටා බල්ලෝ පහළොස් දෙනෙක් පමණ වූ හ. සැන්ඩි දම්වැලත් සමග ම අතුරුදන් වී ඇති බව ඇයට හැගිණි. ඇගේ සිතට මහ අමුත්තක් දැනිණි. යම්කිසි හේතුවක් මත ඇය සැන්ඩිව සෙවීමට උත්සුක නො වූවා ය.
Ô Ô Ô Ô Ô Ô
දශක කිහිපයකට පසුව,
එක් රාත්‍රියක මේඝා සිය මිනිපිරිය සමග, මිදුල් පැදුරු එළා අහස නරඹමින් සිටියා ය. ඇය ඔරායන් සහ සීරියස් තාරකා රාශි දෙස ඉතා ඕනෑකමින් බලා සිටියා ය.
"ආච්චි, ඇයි ඔයා හැම වෙලේ ම සීරියස් තාරකා රාශිය දිහා බලන්නේ?"
"මම දන්නේ නැහැ දුව, මට සීරියස් ගේ මොකක් දොa ලොකු අභිරහසක් තියෙනවා කියල හිතෙනවා."
"මොකක් වගේ අභිරහසක් ද?" මිනිපිරිය ගේ දැස් කුතුහලයෙන් දිළිණි.
"ම්...ම්... මට ගොඩක් ඉස්‌සර සැන්ඩි කියලා ලස්‌සන බල්ලෙක් හිටියා. දවසක් එයා බල්ලෝ රංචුවකට බයේ පැනලා දිව්වා. මම සැන්ඩිව ආයේ කවදා වත් දැක්‌කෙ නැහැ. නමුත් මගේ යටි හිත කියනවා. සැන්ඩියි අර සීරියස් තාරකා රාශියයි අතර මොකක් නමුත් සම්බන්ධයක් තියෙනවා කියලා...." ඇයි සුසුම් ලෑවා ය.
සැන්ඩි කීවා නිවැරදි ය. මේඝා එහෙටත් නැති මෙහෙටත් නැති මතකයක් නිසා අදටත් සිතින් පීඩා විඳින්නී ය.
නිමි.
නිමාෂි ප්‍රනාන්දු
No comments:
Post a Comment